උභය විහාර නාහිමිවරුන්ගෙන් ජනපතිට සහ අගමැතිට කැඳවීමක් ළඟදීම

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගේ ස්ථාවරය ඉදිරියේදී ජනාධිපතිවරයාට හා අග‍්‍රාමාත්‍යවරයාට දැනුම් දෙන බව අස්ගිරි පාර්ශවයේ ලේකඛාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ මේ මොහොතේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හෝ සංශෝධනයක්
අවශ්‍ය නොවන බවට මල්වතු අස්ගිරි කාරක සංඝ සභාව ඉකුත්දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදීයි.

මහනාහිමියන් දිවයිනට සැපත්වීමෙන් අනතුරුව උන්වහන්සේලාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැඳවා සාකච්ඡාවක් පැවැත්වීම අදහස බවයි උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ. යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කළ අරමුණු ඉටු නොවන බව මේ වනවිට පැහැදිලි වී ඇතැයි ද උන්වහන්සේ කියා සිටියා.

කෙසේ වෙතත් කොළඹ ඊයේ පැවති උත්සවයකදී අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් නව ව්‍යවස්ථාව පිළිබඳ එවැනි ප‍්‍රකාශයක් සිදු කර නොමැති බවයි. මල්වතු අස්ගිරි කාරක සංඝ සභාව සිදු කරන ප‍්‍රකාශයක්, මල්වතු මහනාහිමියන්ගේ ඡායාරූප යොදා ගනිමින් පළ කිරීම සුදුසු නොවන බවයි අග‍්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවේ.
Previous Post Next Post