කිසිම ආගමකට හානි වන ව්‍යවස්ථාවක් නීතිගත කිරීමට අස්සන් තබන්නේ නෑ

රට බෙදන, රට කඩන, බෞද්ධාගමට හෝ වෙනත් කිසිදු ආගමකට හානි වන මොනයම් කරුණක් හෝ අඩංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නීතිගත කිරීම සඳහා කතානායකවරයා ලෙස තමන් දිවි තිබෙන තුරු සිය සහතිකය සටහන් නොකරන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (22දා) මීරිගමදී පැවැසීය.

ජයසූරිය මහතා මේ බව ප්‍රකාශ කළේ මීරිගම ශුද්ධ වූ ජපමාල දේවමාතා
දේවස්ථානයට අවුරුදු සියයක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

කතානායක කරු ජයසූරිය මහතා එහිදී මෙසේද පැවැසීය.
මම මේ දේවස්ථානයට කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් ඉපදුණු කෙනෙක්. මේ දේවස්ථානයට වසර සියයක් පිරීම නිමිත්තෙන් පවත්වන මෙම මංගල්‍යයට සහභාගි වන ලෙසට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වෙනවා. මම බෞද්ධයකු ලෙස සියලු ආගම්වලට ගරු කරන පුද්ගලයෙක්. සෑම ආගමකම හිංසාව පිටු දැකීම, ඉවසීම වැනි කරුණු ගැන පැහැදිලි කරනවා.

අද ඉවසීම කියන එක සමාජයට ඉතා වැදගත් කරුණක්. විවිධ කණ්ඩායම් ජාති භේද, ආගම් භේද පතුරවන අදහස් ඉදිරිපත් කරනවා. මෙය ඉතා භයානක දෙයක්. අද රටේ හැමතැනම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කතා වෙනවා. මම මේ පිරිසටත්, රටේ ජනතාවටත් පැහැදිලිව කියනවා මම පාර්ලිමේන්තුවේ කතානායක ලෙස තාම ව්‍යවස්ථාවක් ගැන දන්නේ නෑ. දැකලත් නෑ. ඕනෑම කෙනකුට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවට ගේන්නත් පුළුවන්. සමහර ඒවා රට බෙදන, රට කඩන යෝජනා වෙන්නත් පුළුවන්. නමුත් ඒවා යෝජනාවන් පමණයි. ව්‍යවස්ථාවක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත වන්නේ කතානායකවරයා ලෙස මා ඊට අස්සන් කළොත් පමණයි.
මෙම දේවමංගල්‍යය සඳහා කහවත්තේ රතනජෝති හිමියන්, මීරිගම මීසම භාර ක්‍රිෂ්ටි නිකලස් පියතුමා හා වෙනත් ආගමික පූජකතුමන්ලා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

- මවුබිම




Previous Post Next Post