සංවර්ධන ලොතරැයියේ පිනට පඩි ගන්න උපදේශක රොත්තක් !

පත්වීම් ලැබූ දිනයේ සිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වාර්තා නොකළ උපදේශකවරුන් පිරිසක් කිසිදු රාජකාරියකින් තොරව රුපියල් ලක්ෂයකට ආසන්න වැටුප් ලබමින් සිටින බව වාර්තා වෙයි.

ආරංචි මාර්ග සඳහන් කරන ලෙසට රාජකාරියකින් තොරව මෙසේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් වැටුප් ලබමින් සිටින්නේ හිටපු මුදල්
අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පත් කරනු ලැබූ 10 කට ආසන්න පිරිසකි.

වාර්තා වන ආකාරයට මෙම පිරිස සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ උපදේශකවරුන් ලෙස පත්කිරීමට හිටපු මුදල් අමාත්‍යවරයා කටයුතු කර ඇතත් ඔවුන්ට එකඳු දිනක්වත් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවය කිරීමට අවස්ථාව ලැබී නොමැත.

ඒ අදාළ පත්වීම ලද දිනයේ සිට ඔවුන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් මුදල් අමාත්‍යාංශය වෙත සේවාව අනියුක්ත කර ගැනීමට හිටපු මුදල් අමාත්‍යවරයා කටයුතු කර ඇති නිසාය.

පසුව හිටපු මුදල් අමාත්‍යවරයා විදෙස් අමාත්‍ය ධුරය ලැබීමත් සමඟ මේ පිරිස විදෙස් අමාත්‍යාංශය වෙත උපදේශකවරුන් ලෙස අනියුක්ත කර ගැනීමට රවී කරුණානායක මහතා කටයුතු කර ඇත.

නමුත් පසුගිය සමයේ එම අමාත්‍යවරයාගේ විදෙස් අමාත්‍ය ධුරය ද අහිමි වීමෙන් පසුව වුවත් ඉහත සඳහන් උපදේශකවරුන්ට රුපියල් ලක්ෂයකට අධික වැටුප් තලයක් සහිතව ගෙවීම් සිදු කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට සිදුව ඇත.

කෙසේ වුවත් මේ සම්බන්ධව සංවර්ධන ලොතරැයි මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ කිසිදු රාජකාරියකින් තොරව අදාළ වැටුප් ගෙවීම සිදු කිරීම රාජ්‍ය මූල්‍ය අපතේ යැවීමක් බවය.



Previous Post Next Post