සම්මාන ලැබූ කිරි දෙනුන් 9 දෙනකු මහ රෑ මසට උස්සලා

පශු සම්පත් අමාත්‍යාංශය මඟින් බස්නාහිර පළාතේ හොඳම ඉන්දීය කිරි ගවයා ලෙස ප්‍රථම ස්ථානයේ රාජ්‍ය සම්මානය දිනාගත් මැණිකා නමැති කිරි ගවයා සහ රාජ්‍ය සම්මාන ලැබූ කිරි ගවයන් තිදෙනකු ඇතුළු කිරි ගවයන් 9 දෙනකු දිවුලපිටිය ඇත්ගාල වත්තේදී ඉතුත් 15දා මහ රාත්‍රියේදී හොර හරක් ජාවාරම්කරුවන් විසින් මස් කිරීම සඳහා හොරාගෙන ගොස් තිබේ. ඇත්ගාලවත්ත කුඩගම්මන ගම්වාසීහු හැඬ­ කඳුළින් කම්පිතව මාධ්‍යයට ඊයේ (18දා) මේ බව පැවැසූහ.

පශු සම්පත් අමාත්‍යාංශය මඟින් 2007 වසරේදී හොඳම දෙමුහුන් මී ගවදෙන ලෙස දිවුලපිටිය ආසනයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් රාජ්‍ය සම්මානය දිනාගත් කළු මැණිකා නමැති කිරි ගවයාද ගම්පහ දිස්ත්‍රික්කයේ හොඳම දෙමුහුන් මී ගවදෙන ලෙස ප්‍රථම ස්ථානයේ රාජ්‍ය සම්මානය දිනාගත් චූධී නමැති කිරි ගවයාද එම ගවයන් සමඟ ගාලේ සිටි ගැබ්බර කිරි ගවයන් ඇතුළු කිරි ගවයන් 9 දෙනකු මස් කිරීමට ලොරියක පටවාගෙන හොරාගෙන ගොස් ඇතැයිද ගම්වාසීහු කියති.

දිවුලපිටිය ඇත්ගාලවත්ත කුඩගම්මන පදිංචි එම ගවයන් භාරව සිටි පී. චන්ද්‍රකාන්තී මහත්මිය සහ ඇයගේ සැමියා වන බුද්ධික පුෂ්පකුමාර යන දෙදෙනා සිද්ධිය ගැන හැඬ­ කඳුළින් අප සමඟ කී කතාවයි මේ.

පසුගිය 15 වැනිදා රාත්‍රියේ තමයි මේ ගවයන් හොරකම් කරලා තියෙන්නේ. ලොරිය ගිය පාරේ ටයර් ලකුණුත් තියෙනවා. කරපටි කපලා විසි කරලා තිබුණා. බල්ල බිරුවෙත් නෑ එදා. කළු මැණිකා වැඩිම කිරි දෙන කිරි හරකා ලෙස රාජ්‍ය සම්මාන දිනාගත්තා. මේ තියෙන්නේ ඒ සම්මාන. එක කිරි හරකෙක් ලක්ෂ 4ක් විතර වටිනවා. අපි පාන්දරම 119 අමතලා පොලිසියට කීවා. 119න් කීවා උදේ 8.00ට කතා කරන්න කීවා. පොලිසිය ඒ වෙලාවෙම ආවා නම් පාරවල් වට කරලා ලොරිය අල්ලගන්න තිබුණා. කොටදෙණියාව පොලිසිය පාන්දර 4.00ට ඇවිත් මේක දිවුලපිටිය පොලිසියට අයිති කීවා. දිවුලපිටිය පොලිසිය ඇවිත් ස්ථානය පරීක්ෂා කරලා හෝඩුවාවක් තියෙනවා නම් දන්වන්න කීවා.

මෙතැන රාජ්‍ය සම්මාන ලැබූ කිරි ගවයන් 3ක් හිටියා. ඒ ඇතුළු කිරි ගවයන් 10ක් හොරාගෙන ගිහින්. ඉන් එකෙක් ආපසු පැනලා ආවා. උෟ පාන්දර ආපසු ඇවිත් කෑගැහුවා. ඉතුරු වුණේ එයා විතරයි. එයාගේ නම සිඟිති. සිඟිතිගේ පැටියවත් මේ හොරු අරන් ගිහින්. පැටියා නැති සොවින් සිඟිතිගෙන් කිරි වෑහෙනවා. යන යන කෙනාගේ මූණ දිහා බල බලා උෟ අඬනවා. අනේ මේ හොරු අල්ලල දෙන්න. ජාඇළ තිහාරිය පැත්තට හෝ කුලියාපිටිය පැත්තට ගෙනිච්චා කියලා තමයි හෝඩුවාවක් තියෙන්නේ. ජනාධිපති - අගමැති පොලිස්පතිගෙන් අපි ඉල්ලන්නේ අනේ මේ කිරි ගවයො ටික හොයා දෙන්න කියලයි ගම්වාසීහු කීහ. කිරිවලින් එන ආදායමින් තමයි ගමේ මිනිස්සු වන්දනාවේ යන්නේ. දන්සල් කරන්නේ. දැන් අනාථයි.

එම ප්‍රදේශයේ සමාජ සේවකයකු වන උපුල් මහතා මෙසේ කීය. මේ ගමේ හරක් හොරකම් ජාවාරමක් තිබුණා. මේ පස්වැනි අවස්ථාව. මේක තමයි ලොකුම හරක් හොරකම. ලංකාවේ වටිනාම කිරි ගවයෝ තුන්දෙනාත් හොරකම් කරලා. වහාම පියවර ගන්න මේ ජාවාරම්කරුවන් අල්ලන්න කියලා අපි රජයේ බලධාරීන්ගෙන් ඉල්ලනවා.

- මවුබිම





Previous Post Next Post