බැඳුම්කර කොමිසමට තවත් සති 06ක් කල්දෙයි !

ප්‍රශ්නගත බැදුම්කර නිකුතුව පිළිබඳ සාක්‍ෂි විමර්ශනය සිදුකර අවසන් වුවද ඒ සම්බන්ධයෙන් විශේෂ වාර්තාව සැකසීම සඳහා ජනාධිපති කොමිසමේ කාලය සති 06කින් දිගු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින්  වාර්තා වේ.

කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටි. චිත්‍රසිරි මහතා
විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බලමින් ජනාධිපතිවරයා එම තීරණය ගෙන ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මෙම කොමිසමෙහි කාලය ඔක්තෝබර් 27 වනදායින් අවසන් වීමට නියමිතව තිබිණ.

2015 පෙබරවාරි 01ත් 2016 මාර්තු 31ත් අතර කාලය තුළ නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත් කරන ලද්දේ 2017 පෙබරවාරි මාසයේදීය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මාස 3 බැගින් දෙවතාවක් ම මෙම කොමිසමෙහි කාලය දීර්ඝ කරන ලදී.

එහි සාක්‍ෂි විමසීම මාස 9 කට ආසන්න කාලයක් සිදු කෙරිණ.

මේවනවිට මෙම කොමිසමට අදාලව ජනාධිපතිවරයාට බාරදීමට නියමිත අවසන් වාර්තාව සකස් කිරීම ආරම්භකර ඇති අතර එම වාර්තාවේ කරුණු හා තීන්දු පදනම් කරගනිමින්, නීතිපතිවරයා විසින් එළඹෙන දෙසැම්බර් මාසයේදී අධිකරණය හමුවේ නඩු පැවරීමට අදාළ කටයුතු සුදානම් කරමින් සිටියි.

මීළඟට මොකද වෙන්නේ ?

මෙවැනි කොමිසමක සාක්‍ෂි විමර්ශනයෙන් පසු ඉදිරියේදී සිදුවන්නේ කුමක් දැයි බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා ගෙන් කල විමසීමක දී ඔහු සඳහන් කළේ මෙම වාර්තාව හැකි ඉක්මනින් ලබා දිය යුතුව ඇති බවයි.

එය කල්දැමීමේ හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය. ඒ සඳහා ඇතැම්විට කොමිසමට රෑ දවල් දෙකෙහිම මහන්සි වීමට සිදුවන බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව ඊට අදාළ වාර්තාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම දැන් ඇත්තේ ජනාධිපතිවරයා සතුව බව ඔහු මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

'දඬුවම් පැමිණවීමට නීතිමය බලයක් නැහැ'

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ගෙන් මෙම කොමිසමේ නීතිමය තත්ත්තවය පිළිබඳ කල විමසීමදී ඔහු කියාසිටියේ එම කොමිසමට දඬුවම් පැමිණවීම සඳහා නීතිමය බලයක් නොමැති බවයි.

මෙම මූලික විමර්ශනයේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය උල්ලංගනය වීමක් සිදුව ඇති බව හෙළි වී ඇත්නම් සහ වගකිවයුතු පිරිස් අනාවරණය වී ඇත්නම් ඉන් එහාට නීතිපතිවරයා විසින් අධිචෝදනා නැගිය යුතු බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෙම වාර්තාව නීතිපතිවරයා වෙත ලබා දිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.




Previous Post Next Post