විපක්ෂයේ චෝදනාවලට පිළිතුරු දීමට ශ්‍රීලනිපය වැඩට බසි !

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ අතුරු වාර්තාව සම්බන්ධයෙන් මෙන්ම පසුගිය ආණ්ඩුවේ දුෂණ-වංචා සහ ඝාතන යට ගැසීමේ චෝදනා පිළිබදව ආණ්ඩුවේ පිළිතුරු සැපයීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අවධාරණය කර ඇත.

මේ නිසා ඒවාට පිළිතුරු දීමේ යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත්, එසේ
නොවුණහොත් ආණ්ඩු විරෝධී බලවේග විසින් පතුරුවන ප්‍රචාරවලට ජනතාව ගොදුරු වන බවත් ඔවුන් ජනාධිපතිවරයාට පැහැදිලි කිරීමට සූදානම් වේ.

මේ සම්බන්ධයෙන් ඇමැතිවරුන් දැනුවත් කොට, ආණ්ඩුවට එල්ල වන චෝදනාවලට නිසි පිළිතුරු දීමේ වැදගත්කම අවධාරණය කළ යුතුව ඇතැයි ද පවසන මේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්, වැඩිදුරටත් සඳහන් කරන්නේ ලබන ජනවාරි මාසයේ දී පැවැත් වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී මේ පිළිතුරු දීමේ වටිනාකම වැටහෙනු ඇති බවයි.

විශේෂයෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ අතුරු වාර්තාව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය මඟින් පතුරුවන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව මෙතෙක් නිසි පිළිතුරු සැපයීමක් සිදු වී නැති බවත්, එම නිසා ආසන මට්ටමින් පාක්ෂිකයන් දැනුවත් කිරීමේ දැඩි අවශ්‍යතාවක් මතු වී ඇති බවත් මේ කණ්ඩායම පෙන්වා දෙයි.

එසේම පසුගිය ආණ්ඩුවේ දුෂණ සහ ඝාතන චෝදනාවලට අදාළ ව විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන තර්කවලට පිළිතුරු දීමක් දක්නට නැති බවත්, මේ නිසා ඔවුන් එය දේශපාලන වාසි තකා ජනතාව නොමඟ යැවීමට භාවිත කරන බවත් පවසන මේ ජ්‍යෙෂ්ඨයෝ, වැඩිදුරටත් අවධාරණය කරන්නේ මේ පිළිතුරු දීමේ ක්‍රියාවලිය කඩිනම් විය යුතු බවයි.

(සත්හඬ)



Previous Post Next Post