මූදල් වංචාව පිළිබඳ පරීක්ෂණ සඳහා තායිවාන බැංකුවේ නියෝජිතයින් දිවයිනට

තායිවානයේ බැංකුවකින් ඩොලර් මිලියන 2.1ක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා තායිවාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු සහ මුදල් වංචා කළ බැංකුවේ නිලධාරියෙකු ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා
සඳහන් කළේ, ඔවුන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවී අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ඇති බවයි.

තායිවාන බැංකුවේ නිලධාරියාගෙන් අද ප්‍රකාශයක් ලබා ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

තායිවානයේ, ෆා ඊස්ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී ඇමරිකානු ඩොලර් මිලියන 60 කට අධික මුදලක් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ගිණුම්වලට බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට අපරාධ විමර්ශන කාර්යාංශය පසුගිය සතියේ විමර්ශනයක් ආරම්භ කිරීමත් සමග මෙම වංචාව අනාවරණය විය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය සමාගමක හිටපු සභාපතිවරයකු වූ ෂලීල මුණසිංහ හා ජනක නම්මුනි යන මහත්වරුන් ලබන 25 වන දා දක්වා ඊයේ යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

gossip lanka