කන පැලූ ASP ගෙන් මානව හිමිකම් කොමිසම ප්‍රකාශයක් ගනී

අත්අඩංගුවට ගත් තරුණයකුට කනේ පහරක් ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඊයේ (19දා) කැඳවා තිබේ.

මෙම විමර්ශනයට අදාළව ඔහුගෙන් පැයක පමණ කාලයක් මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව සහකාර පොලිස් අධිකාරි දළුවත්ත මහතා පෙරවරු 11.45ට පමණ මානව හිමිකම් කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටත්ව ගොස් ඇත. කනේ පහර සම්බන්ධයෙන් පාර්ශ්වයන් කිහිපයක් මීට අදාළව මානව හිමිකම් කොමිෂන් සභාවටද පැමිණිලි කර තිබිණි.

මේ වන විට චෝදනා එල්ල වූ සහකාර පොලිස් අධිකාරි දළුවත්ත මහතා හම්බන්තොට කොට්ඨාසයේ සිට මාතර කොට්ඨාසයට ස්ථාන මාරුවක්ද ලබා දී තිබේ.

එසේම ඊයේ දින මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා හම්බන්තොට මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝජිතයකුද මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

මීට ඉහතදී පහරකෑමට ලක් වූ තරුණයාගෙන්ද තංගල්ල බන්ධනාගාරයට ගොස් මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.

- චාමර අමරසූරිය




Previous Post Next Post