වර්ජනය අවසන් වුවත් තවමත් දුම්රිය ධාවනය නිසි පරිදි නෑ

දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන්ගේ වර්ජනය අවසන් වුවත්, තවමත් දුම්රිය ධාවනය නිසි පරිදි සිදුනොවන බව පාලක මැදිරිය පවසනවා.

ඊයේ (12) රාත්‍රියේ සිට අද අලුයම දක්වා කාලය තුළ දුම්රිය කිහිපයක්
පමණක් ධාවනය වූ බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ඊයේ තීරණය කළා.

ඒ, දුම්රිය වෘත්තීය සමිති සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

එහිදී ජනාධිපති ලේකම්වරයා ලිඛිතව වෘත්තීය සමිතිවලට පොරොන්දු වී ඇත්තේ ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි.

එමෙන්ම, ඒ සඳහා 08 දෙනෙකුගෙන් යුත් කමිටුවක් ද පත්කරන බව ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළ බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළා.

දුම්රිය වෘත්තීය සමිති වර්ජනය අවසන් කිරීමට පියවර ගත් බව ප්‍රකාශ කළ ද ඊයේ රාත්‍රිය වනවිටත් දුම්රිය ධාවනය කිරීම සිදුවූයේ නැහැ.

ඒ හේතුවෙන් මරදාන සහ කොටුව යන දුම්රිය ස්ථානවලට පැමිණි මගීන් දැඩි අපහසුතාවයට පත්වුණා.

දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළේ අද දහවල් වනවිට පසු දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට පත් වනු ඇති බවයි.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ  සඳහන් කළේ වර්ජනය හේතුවෙන් නිවෙස් බලා ගිය දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ පැමිණීම ප්‍රමාද විම නිසා තවමත් දුම්රිය ධාවනයට බාධා එල්ල වි ඇති බවයි.

දුම්රිය වර්ජනයෙන් දිවයින පුරා දුම්රිය ගමන් වාර 200 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු වූ අතර ඉන් ජනතාව පත්වුණේ දැඩි අපහසුතාවටයි.

එන්ජින් රියදුරු සහයකයින් බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කරන ලෙස රජයට බල කරමින් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය හදිසි වර්ජනයක්
ආරම්භ කළේ පසුගිය 11වනදා පස්වරු 6ට පමණ.

පසුව දුම්රිය නියාමකවරුන්ද වර්ජනය සඳහා සහය පළ කළා.

නොදන්වා ආරම්භ කළ වර්ජනයත් සමග ඊයේ පස්වරුවේ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලින් ආරම්භවන දුම්රිය ගමන්වාර රැසක් අවලංගු
කෙරුණු අතර, මගීන් දැඩි අපහසුතාවට පත්වුණා.

අවසානයේ ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් කොළඹ සිට පොල්ගහවෙල, අළුත්ගම, ගාල්ල, මීගමුව යන පුදේශවලට විශේෂ බස්රථ සේවා ක්‍රියාත්මක
කෙරුණා.

වර්ජනය සම්බන්ධයෙන් ඊයේ පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර
සාකච්ඡාවක් පැවැත්වුණා.

වෘත්තීය සමිති නියෝජිතයින් පැවසුවේ එම සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බවයි.

ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ වෘත්තීය සමිතිවල අසාධාරණ ඉල්ලීම් සඳහා එකඟතාව පළකළ නොහැකි බවයි.

කෙසේ වෙතත් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ලොකෝමෝටිව් සහායක සංගමය පැවසුවේ දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට තමන්ට
හැකියාව ඇති බවයි.

මේ අතර දුම්රිය වර්ජනය හේතුවෙන් සියලු ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කළා.

මීට අමතරව දුම්රිය වාර ප්‍රවේශපත්‍ර සන්තකයේ ඇති මගීන්ට අධිවේගී මාර්ග ඇතුළු සියළු මාර්ගවල ලංගම බස්රථවල නොමිලේ ගමන් කිරීමට පහසුකම්
සළසා ඇති බව ද එම අමාත්‍යාංශය පැවසුවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ වර්ජනය හේතුවෙන් ඊයේ දිනය පුරා සියළු මාර්ගවල දුම්රිය ගමන් වාර 140 ක් අවලංගු කිරීමට සිදුවූ බවයි.

මේ හේතුවෙන් දිවයින පුරා දුම්රිය මගීන් අදත් දැඩි අපහසුතාවට පත්ව සිටියා.

ඊයේ පස්වරුවේ ද විශාල පිරිසක් තම ගමනාන්තයන් කරා යෑමේ අදහසින් කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණියත් දුම්රිය නොමැති වීම හේතුවෙන් දැඩි
අසීරුතාවට පත්වුණා.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.


gossip lanka