හිරුණිකාගේ නඩුවේ සෙසු පිරිස වරද පිළිගනී

දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හැර අනෙකුත් පුද්ගලයින් 08 දෙනා අදාළ පුද්ගයා පැහැරගත් බව පිළිගෙන තිබේ.

2015 දෙසැම්බර් 21 වනදා ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු
දෙමටගොඩ ප්‍රදේශයේදී බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  මහත්මිය ඇතුළු 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

නඩුවේ පළමු විත්තිකරු හැර සෙසු විත්තිකරුවන් 8 දෙනා අද(06) දිනයේ කොළඹ මහ අධිකරණය හමුවේ වරද පිළිගත් බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඒ අනුව චෝදනා 29ක් සම්බන්ධයෙන් විත්තිකරුවන් 08 දෙනෙකු විසින් වරද පිළිගෙන තිබේ.

චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නීතිඥවරයා අධිකරණය හමුවේ අද ප්‍රකාශ කර ඇත්තේ තම සේවාදායිකාව අදාළ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිනොගන්නා බවයි.

එබැවින් ඇයට එරෙහි චෝදනා විභාග කිරීමට දින නියම කරන ලෙස ඔහු කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කර  තිබේ.

චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවන් 08 දෙනාට මේ මස 24 වන දින දඬුවම් නියම කිරීමට නියමිතය.





Previous Post Next Post