පිළියන්දලදී බෝම්බ ගසා 30කගේ ජීවිත අහිමි කර තවත් 42ට තුවාල කරපු කොටි සාමාජිකයා 93න් වතාවක් ජීවිතාන්තය දක්වා සිරගෙට

ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයක් ඉලක්ක කොට ක්ලෝමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පුද්ගලයින් තිස්දෙනෙකු ඝාතනය කොට තවත් පුද්ගලයින් 42දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ චෝදනාවන්ට වරදකරු වු කොටි සාමාජිකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත
සිරදඬුවමක් අද (08දා) නියම කළේය.

කොටි ත්‍රස්ත්‍රවාදීන්  විසින් දකුණු ප්‍රදේශවල ජනතාව භීතියට පත් කරමින් මීට වසර 10කට ඉහතදී එක දිගට එල්ල කළ බෝම්බ ප්‍රහාර වැළක් අතරතුර පිළියන්දලදී එල්ල කළ මෙම ප්‍රහාරයෙන් වැඩි වශයෙන් මියගොස් හා තුවාල ලබා ඇත්තේ සිය සේවා කටයුතු අවසන් කොට නිවෙස් බලා යමින් සිටි කාර්යාල සේවකයින් බව කියමන් මෙම විත්තිකරුට දැඩි දඩුවම් නියම කරන්නැයි රජයේ ජේෂ්ඨ නීතීඥ අසාද් නවාවී මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව නඟා තිබු චෝදනා 94න් චෝදනා 93කටම වෙන් වෙන්ව ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත දඬුවම් නියම කළේය.

මෙම ක්ලෝමෝ බෝම්බ ප්‍රහාරයෙන් ගමනා ගමන මණ්ඩලයේ පිළියන්දල ඩිපෝවට අයත් 63-4170 දරණ බස් රථයට අලාභ සිදු කිරීමේ චෝදනාවට විත්තිකරුට අමතර වසර 10ක බරපතල වැඩ සහිත සිරද`ඩුවමක්ද නියම කළේය.

මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට වසර 10ක පමණ කාලයක් රිමාන්ඞ් බාරයේ රදවා සිටින සවිදානන්දන් ආනන්ද සුහාර් හෙවත් ලෝරන්ස් ඬේවිඞ් රාජ් හෙවත් වසන්තන් නමැති කොටි සාමාජිකයාට මෙලෙස දඩුවම් නියම කෙරිණි.

විත්තිකරු සමඟම මෙම චෝදනා ලැබ සිටි දේවේන්ද්‍රන්  සින්නයියා නමැති කොටි සාමාජිකයා නඩු විභාගය අතරතුර මියගියේය.



Previous Post Next Post