දෙසැම්බර් 8-9 දේශපාලන පෙරළියක් !

දෙසැම්බර් 8 සහ 9 යන දිනවල දේශපාලන ක්‍ෂේත්‍රයේ යම් යම් පෙරළි සිදුවීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව පිළිබදව සොයා බැලූ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දෙසැම්බර් 8 වැනිදා භාරදීමට නියමිතය. 2018 අය - වැය විවාදයේ අවසන් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 9 වැනිදාය. දෙසැම්බර් 8 වැනිදා භාරදීමට නියමිත බැඳුම්කර
ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව යම් යම් දේශපාලන පෙරැළි සිදුවීමට ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ සාමාජිකයකු ප්‍රකාශ කළේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු කඩිනමින් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බවයි.

ඊට අමතරව මෙම ජනාධිපති කොමිසම පත්කිරීම සම්බන්ධයෙන් එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රණාමය පුද කළ බවද එම ජේ‍යෂ්ඨ නියෝජිතයා සඳහන් කෙළේය.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයන් එකිනෙකාට ප්‍රබල විවේචන ප්‍රසිද්ධියේ එල්ල කරගන්නා තත්ත්වයකට පත්ව ඇති අතර මේ වි්‍යාකූලත්වයන් ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් පැවැත්වීමේ සූදානමක් පවතින බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

මේ අතර මේ අර්බුදකාරී තත්ත්වය මත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත්වීමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨයෝ පිරිසක් සූදානම් කරති.

දෙසැම්බර් 8 හා 9 දිනවලට පෙර මේ තීරණාත්මක දේශපාලන හමුව පැවැත්වීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වෙයි


Previous Post Next Post