ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීහු වැඩවරති

කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් මීට සුළු මොහොතකට පෙර වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ගුවන්තොටුපළ ආරක්ෂක අංශ ප්‍රධානී ධම්මික විජේසූරිය මහතා විසින් ගනු ලැබූ අත්තනෝමතික තීරණයක් මෙම වැඩවර්ජනයට හේතුවී ඇති බව වාර්තා වේ.

ගුවන්තොටුපළින් විදේශයන් වෙත පිටවයන ගුවන් මගීන් රටින් පිටවීමේ
කවුන්ටරය වෙත යාමට පෙර ඔවුන්ගේ අනන්‍යතාවය සැකහැර දැනගැනීම සඳහා ආරක්ෂක කවුන්ටරයක් මගින් අවසන් වරට පරීක්ෂා කරන බවත් එම කවුන්ටරය ඉවත් කිරීම සඳහාත් එම කටයුත්ත නතර කිරීම සඳහාත් ගුවන්තොටුපළ ආරක්ෂක අංශ ප්‍රධානී ධම්මික විජේසූරිය මහතා නියෝග කර ඇත.

එම කවුන්ටරය ඉවත් කිරීම තුළින් රටින් පිටව යන පුද්ගලයන් යළි පරීක්ෂා කිරීමකින් තොරව රටින් පිටව යාමට ඉඩ ලැබෙන බැවින් එයට විරෝධය දක්වමින් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.

මෙම වර්ජනය සම්බන්ධයෙන් මේ වනවිට ගුවන්තොටුපළ ආරක්ෂක ප්‍රධානීන් සහ ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් අතර සාකච්ඡාවක් සිදුවන බවත් වැඩිදුරටත් වාර්තා වේ.



Previous Post Next Post