බොරු ප්‍රචාරය කරන අය සොයා පරීක්ෂණයක් කරන්නැයි අර්ජුන CIDයයි

නැවත වතාවක් ඉන්ධන හිඟයක් ඇති බවට අසත්‍ය කරුණු අන්තර් ඡාලය හා කෙටි පණිවිඩ මඟින් ප්‍රචාරය කරන පුද්ගලයින් සොයා බැලීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කළ බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අද(20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ඊයේ(19) රාත්‍රී කාලයේ දී නැවත වතාවක් ඉන්ධන පිරවුම් පොළවල් කිහිපයක පෝළිම් දක්නට ලැබුණු බවත්, සමාජ ඡාලා වෙබ් අඩවි හා කෙටි පණිවිඩ මඟින් ජනතාව මෙලෙස
මුලා කර ඇතැයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් මේ වන විට රට තුළ කිසිදු පෙට්‍රල් හා ඩීසල් හිඟයක් රට තුළ නොමැති බව තමා වගකීමෙන් යුතුව පවසන බවත්, මහජනතාවට ඒ පිළිබඳ කිසිවිටෙකත් කලබල විය යුතු නැති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඉදිරි සති 2 ක තුළදී තවත් ඉන්ධන නැව් 3ක් පැමිණිමට නියමිත බවත්, එතෙක් ඉල්ලුමට වඩා වැඩියෙන් ඉන්ධන පිරවුම්හල් සඳහා ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ඉදිරියේ දී ඡන්දයක් පැවැත් වීමට නියමිත බැවින් ආණ්ඩුවට විරෝධය දක්වන එක් කණ්ඩායමක් විසින් මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ ද යන්න පිළිබඳ සැකයක් මතුව ඇති බවද රණතුංග මහතා පැවසීය.

කෙසේ වෙතත් අනාගතයේ දී යම් හෙයකින් ඉන්ධන හිඟයක් ඇති වුවහොත් ඒ පිළිබඳ තමා ජනතාව මෙලෙස මාධ්‍ය හමුවක් පවත්වා දැනුවත් කරන බවත් අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.

එමෙන්ම සමහර ඉන්ධන බෙදා හරින පිරවුම් හල්වල ඉන්ධන තිබිය දී ඉන්ධන නොමැති බව පවසා ඇති බවත්, එවැනි තැන් හසුවුවහොත් වහාම තරාතිරම නොබලා රජයට පවරා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා තරයේ කියා සිටියේය.


Previous Post Next Post