බැඳුම්කර ගනුදෙනුවේ එළියට දාපු රහස් හඩපටය මෙන්න.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ බැඳුම්කර නිකුත් කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකු අතර සිදුවූ දුරකතන සංවාද ඇතුළත් හඬ පටයක් දූෂණ විරෝධී හඬ සංවිධානය විසින් ඊයේ (01දා) මාධ්‍යයට නිකුත් කළේය. විදෙස්ගත
පුද්ගලයකු මාර්ගයෙන් ලද මෙම හඬ පටයට අනුව ඉහළ පොලියට බැඳුම්කර මිලදී ගන්නා ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නිලධාරීන්ට බලපෑම් කළ බව තහවුරු වේ.

විශේෂයෙන්ම බැඳුම්කර වෙන්දේසිය නිමවන වෙලාව අනුව පෙ.ව. 11න් පසුවත් විනාඩි 10ක කාලයක් ලබා දෙන්නැයි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවෙන් කරන ලද ඉල්ලීමත් ඒ අනුව හිටපු ටෙන්ඩර් මණ්ඩල සභාපති පී. සමරසිරි අනෙක් බැංකුවලට එය දැනුම් දීමත් මේ හඬ පටයේ අඩංගු වේ.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ විධායක අධ්‍යක්ෂ කසුන් පළිසේන 2012න් පසු මේ ආකාරයට සිදු කරන පළමු ගනුදෙනුව මෙය බවද ඔහු රාජ්‍ය බැංකු ප්‍රධානියා සමඟ වෙන්දේසි  සිදු කරන ආකාරය පිළිබඳවද කළ විස්තර මෙහි ඇතුළත් වන අතර අදාළ වෙන්දේසියෙන් පසු රාජ්‍ය බැංකුවේ හා ණය දෙන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් අතර සිදුවූ සංවාදයක්ද මීට ඇතුළත් වේ.

එම ප්‍රධානීන් පවසන පරිදි රුපියල් බිලියන එකක් වෙනුවට බිලියන 10ක සිදුවූ බැඳුම්කර වෙන්දේසියෙන් බැංකුව පමණක් නොව වෙළෙ¼දපොළ කැලැඹී ඇති බවත්, මේ හරහා ලබන වසරේ බැඳුම්කර වෙන්දේසිය සිදුකිරීමට වන්නේ සියයට 10 ප්‍රමාණයට බවත් සංවාදයට ලක් වී ඇති ආකාරය හඬ පටයේ ඇතුළත්ය.

මෙම හඬ පටය නිකුත් කිරීමෙන් අනතුරුව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජ.වි.පෙ. පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ පැවැසුවේ ගනුදෙනුවට අදාළ හඬ පටයේ පිටපතක් බැඳුම්කර පිළිබඳ ජනපති කොමිසමට ලබාදුන් අතර ඊට අදාළ සියලු නිලධාරීන් කොමිසමට කැඳවා සාක්ෂි ලබාගත යුතු බවය.

මේ දැවැන්ත වංචාවට අදාළ වංචනිකයන්ට දඬුවම් නොදෙන්නේ නම් හොරකම්වලට සම්බන්ධව සිරගත කර සිටින සියලු සිරකරුවන් නිදහස් කිරීම වඩාත් සුදුසු යැයිද හෙතෙම පැවැසීය.

Previous Post Next Post