ව්‍යවස්ථා කෙටුම්පත 2018 තෙක් ඇදේ !

නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර පාර්ලිමේන්තුවවට ඉදිරිපත් කිරීමට 2018 අවසාන කාලය දක්වා කල් ගෙවනු ඇති බවත්, 2019 මැතිවරණය හේතුවෙන් ව්‍යවස්ථා සම්පාදක කටයුතු අසාර්ථක විමේ ඉඩක් ඇති බවත් නව ව්‍යවස්ථාව පිළිබඳව මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙක් පැවසිය.

එම නිසා හැකි ඉක්මනින් ලබන වසර මැද භාගය වන විට ව්‍යවස්ථාව
කෙටුම්පත් කළ යුතු බව තම පෞද්ගලික මතය බව ද ඔහු පැවැසිය.

නොවැම්බර් 16 වැනිදා මෙහෙයුම් කමිටුව රැස්ව තීරණය කර ඇත්තේ ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුව වාර්තාව සම්බන්ධ විවාදය දෙසැම්බර් 02 වැනිදා ව්‍යවස්ථා සම්පාදක සභාවේ රැස්විම් වාරයේ දී අවසන් කිරීමටය.

ඉන් පසුව ජනවාරි මාසයේදී යළි අතුරු කමිටු වාර්තා 06 පිළිබඳ ව්‍යවස්ථා සම්පාදක සභාවේ විවාදය පැවැත්වීමට මෙහෙයුම් කමිටුව එකඟ වී ඇත.

ඉන් පසුව යළිත් මෙහෙයුම් කමිටුව රැස්ව ව්‍යවස්ථාව පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණිමට තීරණය කර ඇත.

දේශපාලන වටපිටාව ?

මෙහෙයුම් කමිටුව අවසන් එකඟතාවන් නොමැති, විවිධ අදහස් ඇති මෙම වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා 2017 මාර්තු සිට සැප්තැම්බර් දක්වා කාලය ගෙන තිබු අතර මෙහෙයුම් කමිටු සාමාජිකයා පැවසුවේ අවසන් එකඟතා ඇති කර ගැනීමටත් එතරම් කාලයක් ගතවෙනු ඇති බවයි.

මෙහෙයුම් කමිටුව එකඟතා ඇති කර ගැනීමෙන් පසුව ව්‍යවස්ථාව කෙටුම්පත් කළ යුතු අතර ඉන් පසු කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

ඒ වන විට මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන වටපිටාවක් නිර්මාණය වී තිබුණහොත් ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය අසාර්ථක වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසිය.

(රාවය)


Previous Post Next Post