ලංකා පුත්‍ර බැංකුවට කබීර් හා යාපා ගෙන් බලපෑම්

මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන ලද පරික්ෂණයකදී වැරදිකාරිය වීම හේතුවෙන් සේවයෙන් ඉවත් කරන ලද ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ කලමනාකාරිනිය නැවත සේවයේ පිහිටුවන ලෙසට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂීම් මහතා හා එම රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා විසින් නියෝග කර ඇත.

ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපතිවරයා අමතමින් 2017.10.12 දින
සහිතව යවනු ලබන ලිපියක් මගීන් මෙම නියෝග දීම සිදු කර ඇති අතර පසුගිය ඔක්තෝම්බර් මස පැවැති එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරුන්ගේ එම නියෝගය ක්‍රියාත්මක කළ නොහැකි බවට එහි අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකු විරුද්ධ වී ඇත.

රවිත් බලපෑම් කරලා !

අදාළ කලමනාකාරිනිය සම්බන්ධයෙන් පැවැත් වු විනය පරික්ෂණයේදී නගා තිබු චෝදනාවලට ඇය වරදකාරිය කිරීමෙන් පසුව සේවයෙන් ඉවත් කර ඇති අතර යහපාලන රජය බලයට පත් වීමෙන් පසු ඇය නැවත සේවයේ පිහිටුවන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක දැඩි ලෙස එම බැංකුවට බලපෑම් කර ඇත.

හිටපු මුදල් අමාත්‍යවරයාගේ එම බලපෑම් නියෝග වලට අදාළ කරුණු වත්මන් අමාත්‍යවරුන් දෙදෙනාගේ ලිපියේ සදහන් කර ඇති අතර ඔවුන් එම ලිපියේ ප්‍රශ්ණ කර ඇත්තේ අදාළ කලමනාකාරිණිය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන්නය.

වැලිඅමුණගේ වාර්තාව :

එම කලමනාකාරිනියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නීතිඥ ජේ.සී. වැලිඅමුණගෙන්ද මත විමසුම් වාර්තාවක් බැංකුව ලබා ගෙන ඇති අතර ඔහුද කියා ඇත්තේ ඇය බැංකුවේ සේවයට නුසුදුසු තැනැත්තියක බවය.

එම කලමනාකාරිණියගේ මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලිසිය විසින් ගොනු කරන ලද නඩුවක් විභාග වෙමින් පවතින බවට වාර්තා වන අතර කලමනාකාරිණය විසින් කම්කරු දෙපාර්තමේන්තුවට කරනු ලබන පැමිණිල්ලක් ද විභාග වෙමින් පවතින බව වාර්තා වේ.

මේ සම්බන්දයෙන් ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති රුවන් ගාල්ලගේ මහතාගෙන් කරනු ලබන විමසීමකදී ඔහු දුරකතනය ඔස්සේ පිළිතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළේය.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන අමාත්‍යවරයාගෙන් කරනු ලබන විමසීමකදි පසුගිය කාලයේ අමාත්‍යාශ අතිරේක ලේකම්වරුවෙකු විසින් කරන ලද පරික්ෂණයකදී ඇයට නැවත සේවයේ පිහිටුවීමට නිර්දේශ කර ඇති බවත් ඇය විසින් නීති ක්‍රියාමාර්ග ගත හොත් විශාල වන්දියක් ගෙවීමට සිදු වේය යන උපකල්පනය මත ඇය නැවත සේවයේ පිහිටුවා අවශ්‍ය පරික්ෂණ සිදු කරන ලෙස උපදෙස් දුන් බවත්ය.

(රාවය)


Previous Post Next Post