සහල් ජාවාරමක් ගැන ඇමැති අමරවීර හෙළි කරයි

ආනයනික සහල් මිලදී ගෙන දේශීය සහල් ලෙස හැඟවෙන පරිදි මලුවල යොදා විකිණීමේ ජාවාරමක් ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ප‍්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පෙරේදා (23) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

අඩු මිලට ජනතාවට ලබාදීම සඳහා ආනයනය කරන සහල් වැඩිපුරම මිල
දී ගන්නේ සහල් මෝල් හිමියන් විසින් බව ආනයනකරුවන් පවසන්නේ යැයි ද ඒ මහතා කීවේය.

ඉන්දියාවෙන් ගෙනෙන සහල් ඉතා හොඳ තත්ත්වයේ ඇති නමුත් දේශිය සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ගේ ඇති උනන්දුව නිසා මේ තත්ත්වය ඇති වී ඇත්තේ යැයි ද අමාත්‍යවරයා කීය.

පරිප්පු හා පොල්වලට උපරිම සිල්ලර මිලක්  නියම කිරීමට රජය තීරණය කර ඇතැයි කී අමාත්‍යවරයා මේ පිළිබඳ ඊළඟ කැබිනට් රැස්වීමේ දී සාකච්ඡා කරන බව ද පැවැසීය.

පරිප්පු තොග මිල මේ වනවිට රුපියල් 110 පමණ වන නමුත් තවමත් සිල්ලර මිල රුපියල් 150 ක් පමණ වන්නේ යැයි ද පොල් රුපියල් 100 ක් පමණ වන්නේ යැයි ද පැවැසු අමාත්‍යවරයා පොල් මිල පිළිබඳ පළවන මාධ්‍ය වාර්තා අනුව වෙළෙන්දන් මිල වැඩි කරන බව ද කීය. පොල් මිල වැඩි වන්නට මාධ්‍ය වාර්තා හේතු වන බව ජීවන වියදම් කමිටුව පෙන්වා දුන් බව ද අමාත්‍යවරයා  වැඩිදුරටත්  සඳහන් කළේය.


Previous Post Next Post