අගමැතිට එරෙහිව මහින්දානන්ද ජාත්‍යන්තරයට යයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කරකොමිසමේදී තම නම සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශයට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තුවට පැමිණිලි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ(21දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම ප්‍රකාශය තුළින් තමාට තර්ජනයක් වූ බවත්, එබැවින් ඒ වෙනුවෙන්
කළ හැකි සියලු දේ සිදුකරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“අවුරුදු තුන හමාරක් ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පළිගත්තා. මේ අවුරුදු තුනට මන්ත්‍රීවරුන් කොපමණ හෑල්ලු කළාද කියලා ඔබතුමාලා දන්නවද? අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බැංකුවලින් ණය ගන්න බැහැ. එච්.එස්.බී.සී. බැංකුවේ, ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුවේ ගිණුමක් අරින්න මේ 225ටම බැහැ. කෙඩ්‍රිට් කාඩ් එකක් පාවිච්චි කරන්න බැහැ.මන්ත්‍රීවරුන් හෑල්ලු කරන්න එපා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටත් ගරුත්වයක් තිබෙනවා. ඒක නැතිකරන්න එපා.

අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන ඇමතුම් ගත්තු  කෝප් කමිටු සමාජිකයන්ගේ සමාජිකත්වය අත්හිටුවන්න ඕන. මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න අවශ්‍යයි.

බැදුම්කර කොමිසමේදී අගමැතිතුමා අහනවා මහින්දානන්ද අලුත්ගමගේගේ ෆයිල් ටිකත් පරීක්ෂණය කරනවද කියලා. රටේ අගමැතිතුමාද මේරටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ. මේරටේ පොලිස්පති අගමැතිතුමාද?. මේවිදිහට නීතිය යනවානම් ඒක අවසනාවන්ත තත්ත්වයක්. අගමැතිතුමා ජනාධිපති කොමිෂන් සභාවට කරපු ප්‍රකාශ පිළිබඳ මම අන්තර්ජාතික පාර්ලිමේන්තුවට පැමිණිලි කරනවා. මට තර්ජනයක් වන විදිහට අගමැතිතුමා කළ ප්‍රකාශයට කළ හැකි සියලු දේ කරනවා.ආණ්ඩු තියෙනවා, පරදිනවා ඒක හොඳට මතක තියාගන්න. අධිකරණ තුනට අපි අධිකරණ 30 ක් හදනවා" යැයි කීවේය.



Previous Post Next Post