ජනපති දකුණු කොරියා යන්න ලෑස්ති වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා ලබන 28 වනදා සිට 30 වනදා දක්වා එම සංචාරයේ නිරත
වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 40 ක් සපිරීමට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම සංචාරය සිදුවන බව සඳහන්ය.

ජනාධිපතිවරයා ලබන 29 වනදා දකුණු කොරියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එහිදී දෙරට අතර ද්වී පාර්ශවීක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ අවධානය යොමුවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

මෙම සංචාරය තුළදී ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද  නියමිතව  තිබේ.

එමෙන්ම දකුණු කොරියාවේ ව්‍යාපාරික හමුවකට සහ එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැළසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.


Previous Post Next Post