ඇමැති නවීන්ගේ පොල් සමාගම් ඇමැති කබීර් පවරාගෙන

අතරමැදියන්ගේ බලපෑමෙන් වෙළෙඳපොළේ පොල් මිල ඉහළ යයි නම් ඒ පිළිබඳව සොයා බලා ඉදිරියේදී පොල් සඳහා පාලන මිලක් නියම කිරීමට තමන් පියවර ගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පොල් මිල ඉහළ යෑම පිළිබඳව හා තේ ක්‍ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදීය.
අමාත්‍යවරයා එහිදී මෙසේද අදහස් දැක්වීය.

මීට පෙර මගේ අමාත්‍යාංශය යටතේ පැවැති කුරුණෑගල හා හලාවත පොල් සමාගම් දෙක මේ වන විට කබීර් හෂීම් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට පවරාගෙන තිබෙනවා. ඒ සමාගම් දෙකේ පොල් නිෂ්පාදන අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් මේ වනතුරුත් ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැහැ. ඒ අය ජනතාව ගැන නොසිතා තම ලාභය ගැන පමණක් සිතා කටයුතු කරනවා. ඒ අයගේ සම්පූර්ණ පොල් නිෂ්පාදන අපට ලබාදෙනවා නම් මේ පොල් ප්‍රශ්නයට ඒක විසඳුමක්.
'යම් හදිසි අවස්ථාවකදී ඒ පිළිබඳ අදාළ විෂයභාර අමාත්‍යවරයාට යම් යම් පියවර ගැනීම සඳහා බලයක් තිබිය යුතු නමුත් ඒ සම්බන්ධයෙන් නිසි කඩිනම් පියවර ගැනීමට මට අවකාශයක් නැහැ. සාමාන්‍යයෙන් රටක වෙළෙඳපොළේ යම් භාණ්ඩයක් හිඟයි නම් ඊට අදාළ අමාත්‍යවරයාට පාරිභෝගික අවශ්‍යතාව මත ඒවා පිටරටින් හෝ ගෙන්වීමට බලය තිබෙනවා. එහෙත් එම බලය මට නැහැ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.






Previous Post Next Post