අලුතින් පිහිටුවන මහාධිකරණයේ පළමු නඩුව ?

අලුතින් පිහිටුවන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ප්‍රථම නඩුව ලෙස බැඳුම්කර නඩුව විභාග කරන ලෙසට ආණ්‌ඩුවට අභියෝග කරන බව ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අය-වැය විවාදයට
එක්‌වෙමින් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ දූෂණ වංචා පිළිබඳ විමසීමට අලුත් ත්‍රිපුද්ගල මහාධිකරණයක්‌ පිහිටුවීමට අයවැයෙන් යෝජනා කර ඇති බවයි.

එම අධිකරණයේ විභාග කරන ප්‍රථම නඩුව ලෙස බැඳුම්කර නඩුව විභාග කරන ලෙසත් ඒ සඳහා ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු අවසන් වනතුරු සිටීම අවශ්‍ය නොවන බවත් කී විජිත හේරත් මහතා, බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව කළ විමර්ශනයට අදාළ වාර්තාව පදනම් කර ගනිමින් නීතිපතිවරයාට නඩු කටයුතු ඇරඹිය හැකි බවද කීවේය.

තම අභියෝගය හැකිනම් භාර ගන්නා ලෙසට මන්ත්‍රීවරයා අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියට කියා සිටියේය.


Previous Post Next Post