ඛණිජ තෙල් අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

ඊයේ (19) පස්වරුවේ සිට කොළඹ, මහනුවර ඇතුළු ප‍්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් අසළ පෝලීම් දක්නට ලැබුණා. බොහෝ පිරිස් පැවසුවේ ප‍්‍රමාණවත් ඉන්ධන තොග නොමැති බවට රාවයක් පැතිර යන බවයි. යළි ඉන්ධන නෞකාවක් පැමිණෙන්නේ ලබන බදාදා බවටත්, ඒ
දක්වා රටේ ඉන්ධන නොමැති බවටත් කටකතා ඔස්සේ රාවයක් පැතිර ගොස් තිබුණා.

එහෙත් එම සියලූ රාවයන් අසත්‍ය බවයි ඛණිජ තෙල් අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ අවධාරණය කළේ.

ඒ අනුව රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බව ඛණිජ තෙල් අමාත්‍යංශය අවධාරණය කරනවා. එබැවින් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නැයි අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් පමණක් මෙටි‍්‍රක් ටොන් 27,497ක් මුතුරාජවෙල හා කොලොන්නාවේ ගබඩා සංකීර්ණවල ගබඩා කර තිබෙනවා. රට පුරා ඇති ඉන්ධන ගබඩා සංකීර්ණ 11ම මේ වනවිට පිරී පවතින බවයි ප‍්‍රකාශ කෙරුණේ.

ඉන්ධන හිඟයක් ඇති බවට වැරදි ප‍්‍රචාර පැතිරවීම බරපතල ගැටළුවක් වී ඇති බවද අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියා. මෙරට දෛනික පෙට‍්‍රල් අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් 2500ත් 2700ත් අතර වනවා.



Previous Post Next Post