ඉන්ධන පිරවීමේ බලාපොරොත්තුවෙන් අදත් වාහන හිමියන් එයි

දින කිහිපයක් මෙරට ජනතාව පීඩාවට පත් කරමින් සිදුවූ තෙල් අර්බුදය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

එහිි ගබඩා පර්යන්තයේ කළමනාකාර අධ්‍යක්ෂ සංජීව විජේරත්න කියා සිටියේ ඉන්ධන නැවක් ප‍්‍රමාද වීම මෙම ගැටලූවට මූලික වශයෙන් බලපෑ බවයි.

මෙම නැව ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ ඉකුත් 2වැනිදායි. එය ලබන 9වැනිදා තෙක් ප‍්‍රමාද වුණා.
ඉන්ධන නැවක් පැමිණිම දින කිහිපයක් ප‍්‍රමාද වූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බවද ඔහු සඳහන් කළා.

කොළඹ වරායෙන් හරවා යැවූ බාල තෙල් අඩංගු ඉන්ධන නෞකාව ත‍්‍රිකුණාමල වරායේ ඇති බව වෘත්තිය සමිති ඊයේ (05) පස්වරුවේ අනාවරණ කළා. එහි අඩංගුව ඇතැයි පැවසෙන පෙට‍්‍රල් ප‍්‍රමාණය ටොන් තිස් හයදහස් හාරසිය අසූවක්. එය මෙරටට ගෙන්වා තිබුණේ සිංගප්පූරුවේ ලියාපදිංචි නෞකාවකින්. වෘත්තිය සමිති අනතුරු අඟවා සිටියේ නෞකාවේ ඇති ඉන්ධන ගොඩබැමේ සුදානමක් ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩා පර්යන්තයේ කළමනාකාර අධ්‍යක්ෂ සංජීව විජේරත්නගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ "ඔය නෞකාව පසුගිය 15 වැනිදා ලංකාවට ආවට පස්සේ 16 වැනිදා අපි කරපු පළවෙනි තෙල් පරීක්ෂණ වාර්තාව අසමත් වුණා. පස්සේ අපි 17 වැනිදා සිදු කළ පරීක්ෂාවෙනුත් අසමත් වුණා. ඊට පස්සේ අපි මේ නැව ප්‍රතික්ෂේප කළා. දැන් අපි දන්නේ නැහැ IOC සමාගම මොන හේතුවක් නිසා මේ නැව තාම තියාගෙන ඉන්නවාද කියලා. ඕනෑම තෙල් වර්ගයක් ලංකාව ඇතුළට ගන්නේ කොළොන්නාව රසායනාගාරයෙන් පරීක්ෂා කරලයි. ඉතින් මේ නැවේ තෙල් කොහොමත් ලංකාව ඇතුළට ගන්න ලැබෙන්නේ නැහැ." යනුවෙනි.

කොළඹ වරායෙන් හරවා යැවූ බාල තෙල් අඩංගු ඉන්ධන නෞකාව මෙරටට ඇනවුම් කර තිබුණේ අයි.ඕ.සී හෙවත් ඉන්දියන් තෙල් සමාගම බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. එසේ තිබියදී ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟ වී අයි.ඕ.සී. පිරවුම්හල්වල ඉන්ධන පවතින්නේ කෙසේදැයි තවත් පාර්ශ්ව ප‍්‍රශ්න කරනවා.

ඊට ද පිළිතුරු දුන් කළමනාකාර අධ්‍යක්ෂ සංජීව විජේරත්න  කියා සිටියේ සියයට 80ක් ලංකාව තුළ තෙල් බෙදාහැරීම් කටයුතු සිදු කරන්නේ සිපෙට්කෝ අයතනය බවයි. ඒ නිසා මෙම හිඟය වැඩි පුර පෙනෙනු ඇති බවද සඳහන් කළා.

බාල පෙට‍්‍රල් අඩංගු බවට තහවුරු වූ නෞකාවක් කොළඹ වරායෙන් හරවා යැවීම පදනම් කර ගනිමින් ඉකුත් දින කිහිපයේ රට පුරා ඉන්ධන හිඟයක් හටගෙන තිබුණා. බොහෝ පිරිස් ඉන්ධන ලබා ගැනීම සඳහා ඊයේ (05) රාත‍්‍රිය වන තෙක්ම ඉන්ධන පිරවුම්හල් අසළ රැදී සිටිනු දක්නට ලැබුණු බවයි  වාර්තා වුණේ. ඉන්ධන බෙදා හරින පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව ද ලබා දී තිබුණා. ඇතැම් වාහන හිමියන් සිය වාහන ඉන්ධන හල් තුළ නවතා ඊයේ රාත්‍රියේ නිවෙස් වෙත ගොස් තිබුනේ අද (06) දිනයේ කෙසේ හෝ ඉන්ධන ලබා ගැනීමේ අරමුණින්. ඒ අනුව අද පෙරවරුවේත් බොහෝ ඉන්ධන හල්වල ගබඩා කර තිබූ ඉන්ධන ප්‍රමාණයන් අවසන් වී තිබුණා.

මෙරට දෛනික ඉන්ධන අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් 2700ක්. එහෙත් ඊයේ  දිනයේ දී ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වලට හා අයි.ඕ. සී. පිරවුම්හල්වලට බෙදා හැරීමට හැකි වී ඇත්තේ ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 2600ක් පමණයි.

-nethnews



Previous Post Next Post