පෙට්‍රල් හිඟය උග්‍ර වෙයි ! ඉන්ධන නෞකාවක් සඳුදා දිවයිනට !!

කොළඹ අවට ඊයේ (03) පස්වරුවේ සිට ඇති වූ පෙට්‍රල් හිගය මේ වනවිට තවත් උග්‍ර වී ඇත.

කොළඹ අවට මෙන්ම පිට පළාත්වල ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන්වීම හේතුවෙන් වසා දමා ඇති ආකාරය ඊයේ
රාත්‍රීයේ කළ නිරීක්‍ෂණ චාරිකාවකදී දක්නට ලැබිණ.

කොළඹ අවට ඉන්ධන පිරවුම්හල්වල පවතින පෙට්‍රල් හිඟය සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍යාංශයෙන් කල විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියාසිටියේ මෙරටට පැමිණීමට තිබූ ඉන්ධන නෞකාවක ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

අදාළ ඉන්ධන නෞකාව දිවයිනට පැමිණීමෙන් අනතුරුව පවතින පෙට්‍රල් හිගය යථා තත්ත්වයට පත් කිරීමට අවම වශයෙන් දින දෙකක්වත් ගතවනු ඇති බවත්, කෙසේ වෙතත් ඉදිරියේදී හිඟයකින් තොරව ඉන්ධන බෙදා හැරිමට කටයුතු කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

ඉන්ධන රැගත් නෞකාවක් එළඹෙන සඳුදා දින (06) දිවයිනට පැමිණීමට නියමිත බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ඉන්දීය තෙල් සමාගමට චෝදනා :

ඉන්දීය තෙල් සමාගම විසින් බාල ඉන්ධන තොගයක් ගෙන ආ පසු ඒවා බාර ගැනීම තෙල් සංස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීමෙන් පසු මෙම ඉන්ධන හිගය නිර්මාණය වී ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ඞී.ජේ. රාජකරුණා මහතා කියා සිටියේ අයි. ඕ.සී. ඉන්ධන නැවක් ප්‍රමාදවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවයි.

මතුව ඇති පෙට්‍රල් හිගය සම්බන්ධයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය ගෙන් කල විමසීමක දී ඇය පැවසුවේ ඉදිරි දින කිහිපයේදී ඉන්ධන රැගත් නෞකාවක් දිවයිනට ළගාවීමට නියමිත බවයි.



Previous Post Next Post