හංගපු දෙන්නා එළියට දාන්න - ගම්මන්පිල අර්ජුනට කියයි

පසුගිය දා ඇති වු තෙල් අර්බුදයට ආණ්ඩුවේ හිටපු තෙල් ඇමතිවරු දෙදෙනෙකු වගකිව යුතුයි කියලා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසා සිටි බවත් වහාම ඔවුන් රටට හෙළි කරන ලෙසත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

කරු ජයසුරිය, ඒ.එච්.එම්.ෆවුසි, සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර යාපා, චම්පික
රණවක හා චන්දිම වීරක්කොඩි යන අය මෙම ආණ්ඩුවේ සිටි හිටපු ඛනිජ තෙල් අමාත්‍යවරුන් වන අතර ඉන් දෙදෙනෙකු නම් නොකිරීමෙන් සෙසු සිව්දෙනාට අසාධාරණයක් සිදුවන බව ද ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

හෙළි කිරීමෙන් පමණක් නොනැවතී ඔවුන්ට නිසි දඬුවම් ලබා දීමට ද ක්‍රියා නොකළහොත් අනාගතයේ දී මෙවැනි තත්ත්වයක් ඇති වීම කිසිවෙකුට නැවැත් වීමට නොහැකි බව ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙගා ඩීල් ගැන කථා කරන ලද මෙම ආණ්ඩුව අද වන විට සිඟිති ඩීල් එකක්වත් හෝ රටට හෙළි කිරීමට අසමත් වී ඇති බව ද පැවසීය.

මේ අතර අද වන විට ආණ්ඩුවේ ණය ප්‍රමාණය 10,286ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව වසර දෙකහමාරක් යන විට තිබුණු ණය ප්‍රමාණය සියයට 39කින් ඉහළ නැංවීමක් බවත් ගම්මන්පිල මහාතා මෙහිදී කියා සිටියේය.


Previous Post Next Post