ලංකා ක්‍රිකට් ආයතනයේ ලොක්කන්ට සිංහල පත්තර එපාලු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා පවත්වන ලද ක්‍රිකට් සම්මාන උළෙලේදී වසරේ හොඳම මාධ්‍යවේදියාට හිමි සම්මානය ඉංගී්‍රසි මාධ්‍යය සඳහා පමණක් සීමා කර තිබීමෙන් පෙනීයන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ තක්සේරුවට අනුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සේවයක් සිදුවෙලා තිබෙන්නේ ඉංග්‍රීසි පත්තරවලින් පමණක්ය කියන කාරණයයි.
මින් පෙර ක්‍රිකට් සම්මාන උළෙල හතක් පැවැත්වුවත් ඒ හැම අවස්ථාවකම විශේෂයෙන්ම සිංහල, දෙමළ හා ඉංගී්‍රසි අංශවල මුද්‍රිත මාධ්‍ය අගැයීමට ලක්කරමින් සම්මාන පිරිනැමුණා. සමහර වසරවලදී සිංහල මාධ්‍යයට සම්මාන දෙකක් පිරිනමන්නත් කටයුතු කරල තිබුණා.

එවන් තත්ත්වයක් තුළ මෙවර ක්‍රිකට් සම්මාන උළෙලේදී මෙරට බහුතර ජනතාවක් වන සිංහල පාඨකයන් වෙනුවෙන් පළකරන සිංහල පත්තරත් ඊළඟට ද්‍රවිඩ ජනතාව කියවන දෙමළ පත්තරත්, අමතක කරල ක්‍රිකට් සම්මාන දුන්නෙ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැත්මට හා දියුණුවට සිංහල, දෙමළ පත්තරවලින් සේවයක් වෙලා නැහැ කියලා මේ රටේ ක්‍රිකට් කරවන මහත්වරුන් තීරණය කරපු නිසා වෙන්න ඇති. තවත් පැත්තකින් බැලුවාම ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දක්‍ෂතා අගැයීමට ලක්කරන වෙලාවෙ ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න ජාතික පත්තර අමතක කරලා. පැහැදිලිව එකක් අවධාරණය කරන්න ඕන. මේ කතා කරන්නෙ ජාතිවාදය අවුස්සන්න නොවෙයි. අනෙක මෙවර එම ඉංග්‍රීසි පුවත්පතට එම මාධ්‍යවේදියාට සම්මානය පිරිනැමීම ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ තෝරාගැනීම නිවැරදියි.

නමුත් රටේ වැඩිපුර ඉන්න පාඨකයන්ට ක්‍රිකට් ගැන තොරතුරු ගෙනයන පත්තර අපේ රටේ ක්‍රිකට් ලොක්කන්ට එපා වීමයි කනගාටුවට කාරණය..? මෙවර සම්මාන රාත්‍රියෙ විශේෂ ආරාධිත අමුත්තා වූ කපිල් දේව් කළ කතාව පවා පරිවර්තනය කරල ඊයේ (ඉරිදා-මව්බිම) පුවත්පතේ පළකළා. එහෙම කළේ අපි දන්නවා එදා සම්මාන ලබපු බොහෝ ක්‍රීඩකයො, වගේම ඔවුන්ගෙ ගෙවල්වල උදවිය බලන්නෙත් සිංහල පත්තරනේ. ඒක අපි තේරුම් ගත්තට ක්‍රිකට් කරවන නෝනා, මහත්වරුන්ට තේරෙන්නෙ නැති එකයි රටේ අවාසනාව. සමහරු හිතාගෙන ඉන්නෙ ලංකාව කියන්නෙ "කොළඹ" කියලනෙ. මේ රටේ බොහෝ දේශපාලනඥයන්ට වැරැදුණ තැනත් එතැනයි.

ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ජාතික කටයුත්තක් ආරම්භ කිරීම ශ්‍රී ලංකාවෙ සම්ප්‍රදායක් වී තිබුණත් පසුගිය සතියේ පැවැති එම සම්මාන උළෙලෙදි වගේම ඉන් පෙර දිනක බත්තරමුල්ලෙ පැවැති ජාතික ක්‍රිකට් වැඩමුළුවේදී පවා උත්සව කටයුතු ආරම්භ කළේ පළමුව ජාතික ගීය ගායනා කිරීමෙන් තොරවයි. මේවා වැරැදි හොයනවා නොවෙයි වැරැදි පෙන්වා දෙනවා. අනෙක ඉතිං හායි හූයි කියාගෙන කටයුතු කරන කාන්තාවකටම ඕන විදියටම කටයුතු කරන්න ඉඩ දීල වගකිව යුතු අය පැත්තකට වෙලා බලා ඉන්නකොට මෙහෙම දේවල් වෙනවා කියලයි තතු දත් අය කියන්නෙ. ඉස්සර නම් මෙහෙම දේවල් මෙතරම් සිදුවුණේ නැහැ. තව එක දෙයක් කියන්න ඕන. ලංකාවෙ ප්‍රයිවට් බස් මුදලාලිලා, වැඩ කරන අය හිතාගෙන ඉන්නෙ මිනිස්සු බස් එකට නඟින්නෙ සිංදු අහන්න ආශාවට කියල. නැහැ. මගීන් බස්වලට නඟින්නෙ ඊට වඩා වැදගත් අරමුණක් වෙනුවෙන්. සමහර විට යහපත් දුර ගමනක් යන්න වෙන්න පුළුවන්. ක්‍රිකට් බස් එකේ සුක්කානම අරගෙන ඉන්න මහත්වරුන්ටත් කියන්න තියෙන්නෙ ඒ හා සමාන්තර අදහසක්

සටහන - සිරිනාම


Previous Post Next Post