මන්ත්‍රී සංඛ්‍යාව දෙගුණ වුණේ රාජපක්‍ෂලාගේ වරදින් - ජවිපෙ

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී පත්වන මන්ත්‍රී සංඛ්‍යාව දෙගුණයක් බවට පත්වී ඇත්තේ බැසිල් රාජපක්ෂලා ඇති කළ කොට්ඨාශවල වරදින් බවත්, එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා අනාගතයේ දවසක කොට්ඨාස සීමා පූර්ණ සමාලෝචනයකට ලක්කර අවශ්‍ය පියවර ගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

එම තත්ත්වය නිවැරදි කර මැතිවරණය පැවැත්වීමට ගියහොත් තවත්
වසර දෙකක පමණ කාලයක් ගත විය හැකි බැවින් රටට අමතර බරක් ඇතිවුවත් දැනට සකස් කර ඇති ක්‍රමය යටතේම ඉදිරි මැතිවරණය පැවැත්වීම සුදුසු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

හොරකම, වංචාව, දූෂණයට එරෙහි වනවායැයි කියමින් සැදූ ආණ්ඩුව දූෂිත තත්වයකට පත්වී, පොරොන්දු කඩකිරීම යටතේ පවත්වනු ලබන මෙම මැතිවරණය ආණ්ඩුව සම්බන්ධයෙන් තමන්ගේ ඇති විරෝධය ප්‍රකාශයට පත් කිරීමටත්, දූෂණයෙන් වංචාවෙන් තොර මන්ත්‍රීවරුන් පත්කරගැනීමටත් ජනතාව භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද විජිත හේරත් මහතා කීවේය.

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජ.වි.පෙ මූලස්ථානයේදී ඊයේ (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


Previous Post Next Post