විමල්ගේ පක්‍ෂයේ අභ්‍යන්තර ගැටුම් උත්සන්න වේ : ලේකම් ඉල්ලා අස්වේ

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, ප්‍රියන්ජිත් විතාරණ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති අතර, අද දින පටන් තමන් ජාතික නිදහස් පෙරමුණු ප්‍රධාන ලේකම් ධුරයෙන්
ඉල්ලා අස්වන බවත් සහාය දුන් සියල්ලන්ට ස්තුතිය පල කරන බවත් එහි සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් විමල් විරවංශ මහතාගේ ලංකා සී නිව්ස් වාර්තා කර ඇත්තේ, සෞඛ්‍යමය හා පුද්ගලික හේතුන් මත ප්‍රියන්ජිත් විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව පක්‍ෂයට දන්වා ඇති බවයි.

ඉවත් කිරීමට කල බලපෑම !

කෙසේවුවද ජාතික නිදහස් පෙරමුණේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, ඊයේ පස්වරුවේ පැවති එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ඇතිවූ මත ගැටුමක් මත ප්‍රියන්ජිත් විතාරණ මහතා ඉල්ලා අස්වන බව දැනුම්දුන් බවයි.

පසුගියදා විමල් විරවංශ මහතා විවේචනයට ලක්කරමින් මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ එම පක්ෂයේ ප්‍රධානියකු වන පියසිරි විජේනායක හා එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රීක් සංවිධායක කැලුම් ජයසුමන වහාම පක්ෂයෙන් ඉවත්කර කිරීමටත් එබව මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙන ලෙසත් විමල් විරවංශ මහතා කල යෝජනාවට ප්‍රියන්ජිත් විතාරණ මහතා එම දේශපාලන මණ්ඩල රැස්වීමේදී විරෝධය පලකට ඇත.

හෘද සාක්ෂියක් ඇතිව එවැනි ලිපියකට අත්සන් කල නොහැකි බව පවසා ඇති ප්‍රියන්ජිත් විතාරණ මහතා, මේවනවිට පක්ෂය විමල් විරවංශ මහතාගේ බිරිඳගේ ග්‍රහණයට නතුවී ඇතැයි චෝදනා කර තිබෙන බව ද එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

පුංචි ඡන්දයට අවුලක !

එසේම ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් ද එම පක්ෂයේ අභ්‍යන්තර මත ගැටුමක් හටගෙන ඇත.

ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය සන්ධානගතව ඉදිරි මැතිවරණයට මුහුණදිය යුතු බවට එහි කණ්ඩායමක් දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වීම එම මතගැටුමට මුලික හේතුව වී ඇත.

තවද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා එජාපයේ ප්‍රබලයෙක් හා එජාප නායකයාගේ කිට්ටුවන්තයකු සමඟ නිදහස් චතුරස්‍රය ආසන්නයේ මෝටර් රථයක් තුළ රහස් සාකච්ඡාවක් සිදුකර ඇති බවට මාධ්‍ය හරහා හෙළිදරව් වීම ද එම පක්ෂයේ අභ්‍යන්තර ගැටුමට ප්‍රධාන කාරණයක් වී ඇත.


Previous Post Next Post