අසිරිමත් නත්තල උදාවෙයි - නත්තල් සුභ පැතුම් මෙන්න..

ජේසු බිළිඳාගේ උපත සැමරෙන අසිරිමත් නත්තල උදාවෙයි. ශ්‍රි ලංකාවාසී සියළු කිතුණු බැතිමතුන්ට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා යැයි අප ගොසිප් සී ලංකා වෙබ් අඩවිය ප්‍රාර්ථනා කර සිටිමු. නත්තල් ප්‍රධාන දේව මෙහෙය අති උතුම්

ශුද්ධෝත්තම ප්‍රාන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානුවේ
ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙන අතර අසිරිමත් නත්තල මේ වන විට ලොව පුරා කිතුනු බැතිමතුන් මහත් උද්යෝගයෙන් සමරමින් සිටියි.

අසරණ වූ මිනිසුන්ට දරුවන්ට කරුණාව දයාව පුදකරමු - අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ
බෙත්ලෙහෙම් පුරයේ ජනාකීර්ණ නගරයෙන් ඈත, පාළු හුදෙකලා ගවමඩුවක උපදින්නට උන් වහන්සේ තීරණය කළේ නිරහංකාර බව ලොවට කියාපාන්නට බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. දිළිඳුන්ට මහලු වැඩිහිටියන්ට ජීවිතයේ අසරණ වූ මිනිසුන්ට අනේක විධ පීඩා විඳින දරුවන්ට, මේ නත්තලේ දී අපේ දයාව කරුණාව පිරි ආදරය යොමු ක‍රමු. සෑම මනුෂ්‍යයකුටම ගරු කරමු. මිනිස් ජීවිතවලට ආදරය කරමු. සතුට මගේ පමණක්යැයි නොසිතා, සෑම කෙනෙක් අතරේම බෙදාගනිමු. මනුෂ්‍යයකුගේ වටිනාකම තිබෙන්නේ ඔහු සතු දේ තුළ නොව, ඔහුගේ පැවැත්මේ වටිනාකම තුළ බව නිතර සිහි තබාගනිමු.

නත්තලේ ප්‍රීතිය භුක්ති විඳින අතර පරිසරය විනාශ නොකරන ලෙසත්, පොලිතීන් හෝ සැරසිලි අවභාවිත නොකරන ලෙසත් මා ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ නත්තලේ ඉපදුණු ජේසු බිලිඳුන්ගේ නාමයෙන් මා ඔබෙන් ඉල්ලා සිටින ලොකුම පරිත්‍යාගය නම්, ඔබ දන්නා නොදන්නා කවර දරුවකුට වුවත් හිංසා නොකරන්න. ආදරයෙන් උදවුවෙන් ඔවුන් නඟා සිටුවන්න. දරුවන්ට ගරු කරන්න. එවිටයි, ජේසු බිලිඳුන්ට ආදරය කරන ඔබ, උන් වහන්සේ වෙනුවෙන් නත්තල අර්ථවත් ලෙස ගත කළා වන්නේ. ඔබ සැමට ප්‍රීතිමත් නත්තලක් වේවා! ජේසු පිහිටයි!

දේවත්වය සහ මනුෂ්‍යත්වය එකට මුණගැසෙන සන්ධිස්ථානයක් - ජනපති

අසිරිමත් විශ්ව මංගල්‍යයක දේශීය කොටස්කරුවන් වෙමින් මෙවර නත්තල සමරන සහෝදර කිතුනු ජනතාව වෙත මාගේ සුබ පැතුම් පිරිනමන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නත්තල් දින පණිවිඩ‍ෙයන් කියයි. දේවත්වය සහ මනුෂ්‍යත්වය එකට මුණ ගැසෙන අපූර්ව සන්ධිස්ථානයක් ලෙස නත්තල එදා මෙදා තුර මානව ඉතිහාසය තුළ සුවිශේෂ භූමිකාවක් හිමිකර ගෙන සිටී.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උපත ලබන්නේ අවිචාරය, අසමානත්වය හා කෲරත්වය මුල්බැසගෙන පැවති සමයකය. දේව වරමක මහිමය හිස දරා සිටියේ වුවද උන්වහන්සේ එකී දුර්ගුණයන් මැඩලීම උදෙසා සමස්ත මිනිස් වර්ගයාටම ආමන්ත්‍රණය කළේ ද මග පෙන්වනු ලැබුවේ ද සාමාන්‍ය මනුෂ්‍ය සමාජයේ සාමාජිකයෙකුට අත්විඳීමට සිදුවිය හැකි සියලු උවදුරුවලට මැදිවෙමිනි. එදා මිහිපිට ජීවත් වූ මිනිසාට මිනිස්කමේ ගැඹුර ද ඒ තුළ රඳවා ගතයුතු පරමාදර්ශී ගුණය ද නිවැරදිව හඳුනා ගැනීමට හැකිවූයේ ඒ අනුවය.

අද මුළුමහත් ලෝකය ඉදිරියේ ඇති දැවැන්ත අභියෝග පිළිබඳව සලකා බැලීමේදී අප ඊට විසඳුම් සොයා යා යුතු මග ඒ තුළ මැනවින් සනිටුහන් කර තිබේ. එනම් මනුෂ්‍යත්වය මුල්කරගනිමින් සියල්ලටම විසඳුම් සොයාගත හැකිවනු වගය. එහිදී තමා ද ජයගනිමින් අනෙකා කෙරෙහි දක්වන දයාව හා කරුණාව අවසානයේ සමස්ත මානව වර්ගයා සහජීවනය වෙත යොමුකරවන බවය. මනුෂ්‍යත්වයට එරෙහිව එල්ල වී පවතින සෑම ගිනි අවියක්ම නිහඬ කර සාමයේ සිසිලස තුළ අනාගතය ප්‍රභාමත් කරගත හැක්කේ එවන් මගක යන ගමනකය. එම උත්තරීතර චින්තනය සැබෑ කරන්නා වූ ඒ මියුරු රිදී සීනු නාදය මේ නත්තලේ දී ලොව පුරා දසදෙසෙහි රැව් නැගේවා.

යහපත් මිනිසුන් ලෙස සමාජය පෝෂණය කරමු - අගමැති

යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙය ද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ අයහපත් දෙය ද උපදවන බව ශුද්ධ වූ බයිබලයෙහි සඳහන් වන බැවින්, අප සැම අරමුණු කර ගත යුත්තේ යහපත් දේ සිතෙහි නිදන් කොට ගෙන, යහපත් මිනිසුන් ලෙස සමාජය පෝෂණය කරලීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නත්තල් දින  සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි . එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

සාමයේ සහ ප්‍රේමයේ සුබාරංචිය ගෙන දේව පුත්‍ර ක්‍රිස්තුන් වහන්සේ ඉපදීම සමරන නත්තල, කිතුනු ජනතාව අතිඋත්කර්ෂවත්ව සමරන ආගමික උත්සයකි. මේ වන විට එය කිතුනු ජනතාව පමණක් නොව වාර්ගික, ආගමික භේදයකින් තොරව බහුතර ලෝකවාසීන් සමරන සංස්කෘතික උත්සවයක් බවටද පත්ව ඇත. ජනතාව රෝම අධිරාජ්‍යයේ සමාජ, ආර්ථික ක්‍රමය තුළ පීඩාවට පත්වෙමින් තිබූ වකවානුවක ක්‍රිස්තුන් වහන්සේ උපදින්නේ දිළිඳු ගවහලක, දිළිඳු මව්පිය යුවලකගේ පුතකු ලෙසිනි. උන් වහන්සේ සිය ජීවිතයම කැප කළේ භෞතික, මානසික, අධ්‍යාත්මික දිළිඳුභාවයෙන්, පීඩිතභාවයෙන් මිදීම සඳහා ආදරය, දයාව හා කරුණාව සපිරි යහපත් සමාජයක් නිර්මාණය කරලීම වෙනුවෙනි.

අද අප සමාජය ඉල්ලා සිටින්නේද වාර්ගික, ආගමික භේද ඉක්මවූ සාමය, සංහිදියාව පිරුණු යහපත් පරිසරයකි. ගුණ දම් සපිරි වටපිටාවකි. නීතිය, සාමය හා යුක්තිය රජයන යහපත් දේශයකි.

යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙය ද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ අයහපත් දෙය ද උපදවන බව ශුද්ධ වූ බයිබලයෙහි සඳහන් ය. එහෙයින්, අප සැම අරමුණු කර ගත යුත්තේ යහපත් දේ සිතෙහි නිදන් කොට ගෙන, යහපත් මිනිසුන් ලෙස සමාජය පෝෂණය කරලීමටය.

සාම කුමාරයාණන් ලෙස හැදින්වෙන ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූ නත්තල් දිනය සමරන අප සැමට නත්තල අර්ථවත් කර ගත හැක්කේ එවිටය. ඔබ සැමට අසිරිමත් හා අර්ථවත් නත්තලක් වේවා..

gossip lanka