'කල්ලාරු ඇතාගේ දළ' විමර්ශනයට කොළඹට යවන්නැයි අධිකරණයෙන් නියෝග

'කල්ලාරු ඇතාගේ දළ' විමර්ශනයට කොළඹට යවන්නැයි අධිකරණයෙන් නියෝග

කල්ලාරු ඇතාගේ  බවට සැක කෙරෙන දළ යුගල ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරලවරයාටත් තක්සේරු
දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් යවන්නැයි අධිකරණය  පොලිසියට දන්වා තිබෙනවා.

ඒ ඇත් දළ යුගල සැබෑ ඇත් දළද යන්න විද්‍යාත්මකව තහවුරු කර ගැනීම සහ දළ යුගලයේ වටිනාකම තක්සේරු කිරීම සඳහා.

තන්තිරිමලේ සහ සිලාවතුර සීමාවේදි පොලිසිය විසින් සොයා ගත් කල්ලරු ඇතාගේ බව සැක කෙරෙන ඇත් දළ යුගල සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ශණ කැකුණවෙල මහතා අද (8) මෙම නියෝගය  නිකුත් කර තිබෙනවා.

අනුරාධපුර කොටිඨාශ  අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නවරත්න අබේකෝන් මහතාගේ උපදෙස් මත,  සැරයන් එල්.පී.එන්.සී. සෝමතිලික මහතා අධිකරණයෙන්  කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි   මහේස්ත්‍රාත්වරයා නියෝගය  නිකුත් කර ඇත්තේ.

දෙසැම්බර් මස 28 වන දින මෙම අත්දළ යුගල තන්තිරිමලේ සහ සිලාවතුර සීමාවේදී අත් අඩංගුවට ගැනුනේ අනුරාධපුර පොලිස් අධිකාරි තිලිණ හේවා පතිරණ මහතා විශේෂ පොලිස් කන්ඩායමක් සමග පුද්ගලිකවම  අදාල ස්ථානයට ගොස් සිදු කළ විශේෂ වැටලීමකදී.

අත් අඩංගුවට ගැනුනු ඇත් දළ යුගලයෙහි එකක දිග අඩි 4යි අඟල් 7ක් වන  අතර බර කිලෝ 50ක් පමණ වෙයි.
රුපියල් ලක්ෂ පනහකට ඒවා අලෙවි කිරීමට යාමේදී  අත්අඩංගුවටගෙන තිබුණා.

අත් අඩංගුවටගත් ප්‍රධාන සැකකරු සිලාවතුර පොලිස් වසමේ  සිවිල් ආරක්ෂක කමිටුවේ  සභාපතිවරයා බවයි කියවෙන්නේ.
මේ අතර සැකකරුවන් තිදෙනා  රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

 වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක කෙරෙන කල්ලාරු ඇතාගේ ශරීර කොටස් ද ඉකුත් 5 වනදා සිලාවතුර මොල්ලිකුලමි ප්‍රදේශයේදී සොයා ගැනීමට අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිළධාරීන්  සමවුණා.

විල්පත්තුව  ජාතික වනෝද්‍යානයේ සහ අවට කලක් සැරිසරූ බව කියන කල්ලාරු සද්දන්ත ඇතාට වෙඩි තැබූ අපරාධකරුවන්  සම්බන්ධයෙන්ද පොලිසියට නිවැරදි තොරතුර ලැබී ඇති බවයි පැවසෙන්නේ.

සැකකරුවන්  අත්අඩංගුවට ගැනීම සදහා දැනටමත් පොලිස් කන්ඩායම් දෙකක්  යොදවා ඇති බව අනුරාධපුර  කොට්ඨාශ භාර පොලිස් අධිකාරි තිලිණ හේවා පතිරණ මහතා සඳහන් කළා.

(අනුරාධපුර - අධිකරණ උපාලි ආනන්ද)

gossip lanka