බැඳුම්කර සමාගමේ මුදල් රාජසන්තක කිරීමට අලුතින් නීති රීති !

ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් රටට අහිමිවු මුදල නැවත ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ගෙන එන අණපනත් නීති රීති වෙනස්‌ කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවැසීය.

මුදල් වංචා කළ පුද්ගලයන්ට දඬුවම් කිරීමට මෙන්ම එම මුදල් නැවත
ලබාගැනීම සඳහා ඉතා ඉක්‌මනින් කටයුතු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි ස්‌ථාවරයක සිටින බව පැවසූ ඇමැතිවරයා ඒ සඳහා පාර්ලිමේන්තුවේ බහුතරයක කැමැත්ත හිමිවන බවද කීවේය.

නැවත මහ බැංකුවේ මෙවැනි මුදල් වංචාවන් සිදු නොවන ආකාරයට අලුත් වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීමටත් ඉදිරියේදී ඕනෑම ආණ්‌ඩුවකින් පත්වන මහබැංකු අධිපතිවරයා දේශපාලන පත්වීමක්‌ නොවන ලෙස පත් කරන්නටත් ජනාධිපතිවරයා නව සැලැස්‌මක්‌ ඇති කරනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

මහින්ද අමරවීර ඇමැතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ (18 දා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

බැඳුම්කර සමාගමේ බිලියන 12ක් රඳවා ගෙන :

මේ අතර ඊයේ ජාතිය ඇමතු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ රුපියල් බිලියන 12ක මුදල් තමා ඇමැති ධුරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ඇති මහ බැකුව මේ වන විටත් රඳවාගෙන ඇති බවත් බැඳුම්කර කොමිෂන් සභාව නිර්දේශ කළ පරිදි එම සමාගම අයුදු ලෙස උපයාගත් බව කියන බිලියන 9.2ක අයුතු ලාභය නැවත රජයට ලබා ගත හැකි බවත්, එනිසා රජයට කිසිදු අලාභයක් සිදු නොවන බවත් කියා සිටියේය.

බැඳුම්කර වාර්තාවෙන් චෝදනා ලබන පක්ෂයේ සාමාජිකයන් සිටි නම්, ඔවුන් පිළිබඳව සොයා බලා තීරණයක් ගැනීමට අමාත්‍ය තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවත් කමිටු නිර්දේශය අනුව ක්‍රියා මාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා එම විශේෂ ප්‍රකාශයෙදී සඳහන් කළේය.

අගමැතිවරයාගේ කතාවේ වීඩියෝ පටය

gossip lanka