මොරගහකන්ද පළමු දියවර නිකුත් කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

මෙරට විශාලතම වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය අද ජනතා අයිතියට පත් කෙරෙනවා.

එහි පළමු දියවර නිකුත් කිරීම අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල
සිරිසේන මහතා අතින් සිදු කෙරෙනු ඇති.

ඒ අනුව, මොරගහකන්දු ව්‍යාපෘතිය භාර චීන සමාගම විසින් එහි කටයුතු නිම වූ බව දන්වමින් එය ශ්‍රී ලංකා රජය වෙත භාරදීම ද ප්‍රධාන වේල්ල අසලදී අද සිදු කිරීමට නියමිතයි.

මොරගහගන්ද, කළුගඟ වාරි ව්‍යාපෘතිය සඳහා 1950 වසරේ දී මුල්ම ශක්‍යතා අධ්‍යයනය සිදු කළත් එය වඩාත් විධිමත්ව ආරම්භ වන්නේ 2000 වසරේදීයි.

2007 වසරේ දී එහි කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණ ද එවට රජය ගත් ඇතැම් තීණ්දු හේතුවෙන් එහි වැඩ නිමකිරීමට නොහැකි වුණා.

පසුගිය රජයේ දී මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා මහඟු කාර්්‍යයක් ඉටුකරනු ලැබුවා.

කෙසේ වෙතත්, එහි කටයුතු සක්‍රීයව ආරම්භ වුණේ නව රජය බලයට පත්වීමෙන් අනතුරුවයි.

    අද ජනතා අයිතියට පත් කෙරුණේ මොරගහකන්ද කලුගඟ ජලාශයේ සම්පූර්ණ ධාරීතාවය අක්කර අඩි හයලක්‍ෂ  හැට දහසක්.

අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල  යල සහ මහ කන්න දෙකෙහිම වගාකිරීම සඳහා ජලාශයේ ජලය ප්‍රමාණවත් වන අතර, ඒ යටතේ අදාළ ප්‍රදේශවල පානීය ජල  අවශ්‍යතා සැපිරීම ද විශේෂත්වයක්.

මීට අමතරව, ව්‍යාපෘතය තුළින් වාර්ෂිකව මිරිදිය මත්ස්‍ය  ටොන් 3000 ක් නිෂ්පාදනය කිරීමට ද අපේක්‍ෂිතයි.

මොරගහකන්ද ජලාශය තුළින් මෙගා වොට් 25ක විදුලි බල ප‍්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිත අතර එමගින් ඉතිරිවන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336කි.

ජලාශය හේතුවෙන් පීඩාවට පත් පවුල් 3000 ක් සඳහා මේ වන විට නව නිවාස මෙන්ම ආධාර ද ලබා දී ඇති බව සඳහන්.

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000 කට අලුත් දියවර සැපයේ.

ඒ අනුව වයඹ පළාතේ වැව් 303කට සහ උතුරුමැද පළාතේ වැව් 1600කට ජලය සැපයෙන අතර නව ලග්ගල හා මැදිරිගිරිය ප‍්‍රදේශයේ ඉදිකරන නව නගරය හා නව ජනපදවල අලුත් වැව් 48ක් ඉදිකරනු ලබයි.

නකල්ස් කඳු නිම්නයේ සිට අඹන් ගඟ හරහා ගලා ගිය ජල කඳ හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර ඇති අතර මොරගහකන්දට යාබදින් ගලා බසින කළුගඟ හරස්කර ඉදිවන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට සැපයෙනු ඇති.

ලංකාවේදී දැකිය හැකි ගල් පිරවූ ප‍්‍රධාන වේල්ලක්, කොන්කි‍්‍රට් කරන ලද වේල්ලක් මෙන්ම පස් වලින් සෑදු වේල්ලක් යන වේලි තුනකින් යුත් එකම ජලාශය මොරගහකන්ද ජලාශය වීම ද විශේෂත්වයක්.

මොරගහකන්ද ජලාශය ආශී‍්‍රතව වාර්ෂිකව ඇඳ හැළෙන වර්ෂාපතනය ඝණ මීටර් මිලියන 818 ක් වන අතර එම මහා ජල කඳ මුහුදට ගලායෑම වළකා ජලාශයේ රඳවා ගැනීම හේතුවෙන් මනම්පිටිය හා සෝමාවතිය ප‍්‍රදේශවලට වාර්ෂිකව ඇතිවන ගංවතුර තත්ත්වය අවම කිරීමට ද මෙම ව්‍යාපෘතිය තුළින් හැකියාව ලැබේ.

ජලාශයේ දියවර නිකුත් කිරීමට සමගාමීව මහවැලි ව්‍යාපාරයේ 40 වන සැමරුම් උත්සවයට ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද එක් වනවා.

gossip lanka