ඡන්ද අපේක්ෂකයින් නෑයෝ නිසා පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු

නීතිඥ බිරිදගේ නම මෙවර පලාත් පාලන මැතිවරණයට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අනුරාධපුර මහ නගර සභාවේ අතිරේක ලැයිස්තුවට ඇතුලත් කර තිබීම හේතුවෙන් එම නීතිඥවරියගේ පොලිස් ස්ථානාධිපති සැමියාට වහාම ක‍්‍රියාත්මක වන පරිදි අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ සිට හලාවත පොලිස් කොට්ඨාසයට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

ජාතික මැතිවරණ කොමිසමේ නිර්දේශය මත පොලිස්පති පූජිත්
ජයසුන්දර මහතා නියෝග අනුව වහාම ක‍්‍රියාත්මක වන පරිදි අදාල ස්ථාන මාරුව ක‍්‍රියාත්මක කර ඇත.

මෙලෙස හලාවත පොලිස් කොට්ඨාසයට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇත්තේ අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුජිව කුමාර මහතායි.

ඔහුගේ බිරිද වන නීතිඥ ස්වර්ණමාලි අනුරාධනායක මහත්මියගේ නම මෙවර පලාත් පාලන මැතිවරණයට අනුරාධපුර මහ නගර සභාවේ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අතිරේක ලැයිස්තුවට ඇතුලත් කර තිබේ.

‍105 දෙනෙකුට වහාම ස්ථාන මාරු

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසා සිටින්නේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සමග පවතින ඥාතී සම්බන්ධතා හේතුවෙන් මේ ආකාරයෙන් පොලිස් නිලධාරීන් 105 දෙනෙකු වහාම ස්ථාන මාරු කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇති බවයි.

මීට අමතරව ආරක්ෂක සහයකයින් තිදෙනෙකු ද ස්ථාන මාරු කළ බවත් මෙම ‍ස්ථාන මාරුවීම් මාර්තු මස 01 වන දා දක්වා ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කර සිටියි.

මේ අතර අපේක්ෂකයින්ගේ ඥාතී සම්බන්ධතා හේතුවෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු නිලධාරින් ද තාවකාලිකව ස්ථාන මාරු කිරීමට ඒ ඒ කාර්යාල ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දුන් බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළේ ය.



gossip lanka