රාජගිරිය ගුවන් පාලම 08 වනදා විවෘත කෙරෙයි

රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම ලබන  08 වනදා විවෘත කිරීමට නියමිතයි.

මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ
වුවද මගී ජනතාවගේ පහසුව සඳහා එහි කටයුතු මාස 11කට පෙර නිම කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි හැකිව තිබෙනවා.

ස්පාඤ්ඥ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ මෙහි ඉදිකිරීම් ආරම්භ කළ අතර, වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700ක්.

මංතීරු හතර බැගින් වූ  ගුවන් පාලම දිගින් මීටර් 534ක්. මීටර් 180ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්.

මීට සමගාමීව අවට මාර්ග රැසක් සංවර්ධනය කෙරෙන අතර නාරාහේන්පිට දෙසට ගමන් කිරීම සදහා විකල්ප මාර්ගයක් මෙන්ම බුත්ගමුව දෙසට මාර්ගය මංතීරු 03ක් සහිතව සංවර්ධනය කෙරෙනවා.

ඉහළ නවීන තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප‍්‍රමිතීන්ට අනුකූලව ඉදිකර තිබෙන පාලම, යකඩ මත කොන්කි‍්‍රට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප‍්‍රථම ගුවන් පාලම ලෙස ද ඉතිහාසයට එක්වන අතර එමෙන්ම ලංකාවේ ඉදිකළ අලංකාරවත්ම ගුවන් පාලම ද වෙයි.

දිනකට වාහන ලක්ෂයකට වැඩි ප‍්‍රමාණයක් එහා මෙහා ගමන් කරන රාජගිරිය මංසන්ධිය,  අධික වාහන තදබදයක් සහිත මංසන්ධියක්.

අධික වාහන තදබදය පවතින අවස්ථාවල එම මාර්ගයේ වාහනවල වේගය පැයට කිලෝමීටර් දෙකක පමණ මන්දගාමී තත්තවයක පවතිනවා.


gossip lanka