ශ්‍රී ලංකාව - සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබෙයි

දෙරට අතර වෙළෙඳ කටයුතු සීග‍්‍රයෙන් ඉදිරියට ගෙන යාමේ නිදහස් වෙළෙඳ ගිවිසුමකට ද නායක දෙපළ ඉදිරියේ අත්සන් තැබුණු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා සහ සිංගප්පූරු රජය වෙනුවෙන් එරට
වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊෂ්වරන් මහතා ඊට අත්සන් තැබූහ.

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂියෑන් ලූන් මහතා පවසයි.

නිල සංචාරක් සඳහා දිවයිනට පැමිණ සිටින සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේදී මේ බව කියා සිටියේය.

දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ජා කළහ.

මෙහිදී අදහස් දැක්වූ සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ දෙරට අතර අත්සන් තැබුණු මෙම නව ගිවිසුම මගින් වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත‍්‍ර තුළ දෙරටටම ප‍්‍රතිලාභ සැලසෙන නව අවස්ථා රැසක් ඉදිරියේදී නිර්මාණය වනු ඇති බවයි.

වෘත්තීය පුහුණු, නව රැකියා අවස්ථා සහ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත‍්‍ර සඳහා සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන සහය ඉදිරියේදී තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව ද මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට අදාළ ආයෝජන අවස්ථා විශාල වශයෙන් වර්ධනය වී ඇති අතර ඒ සඳහා සිංගප්පුරුවේ ආයෝජකයින් තවදුරටත් දිරිමත් කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ එළැඹෙන ව්‍යාපාරික හමුවලදී විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බව සඳහන් කළේය.


gossip lanka