දියතලාව බස් බෝම්බ පිපිරීම-යුධ හමුදා කමිටු වාර්තාව සකස් කිරීමේ කටයුතු අවසන් අදියරට

දියතලාව ප්‍රදේශයේදී බස් රථයක සිදු වූ බෝම්බ පිපිරීම පිළිබඳ පරීක්ෂණ සිදු කිරීම සඳහා පත් කළ යුධ හමුදා කමිටුව අදාළ වාර්තාව සකස් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව ආරක්ෂක අංශ පවසයි.

ඒ අනුව මෙම සතිය තුළ අදාළ වාර්තාව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වෙත බාරදීමට නියමිත බව වාර්තා ෙවයි .

පසුගිය 21 වනදා දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී  ධාවනය  වෙමින්
තිබූ පෞද්ගලික බස් රථයක් තුළ මෙම පිපිරීම සිදු වුණි.

අදාළ සිද්ධියෙන් හමුදා සාමාජිකයින් ඇතුළු 19 දෙනෙකු තුවා ලැබීය.

මේ සම්බන්ධයෙන් පොලීසිය මූලික විමර්ශන කටයුතු ආරම්භ කළ අතර එහිදී අනාවරණය වුණේ බස් රථයේ ගමන් ගත් හමුදා සාමාජිකයෙකු සතුව තිබූ බිම් බෝම්බයක් පුපුරා ගොස් ඇති බවයි.

ඒ අනුව අදාළ බිම් බෝම්බට රැගෙන ආ බවට සැකකෙරෙන හමුදා සාමාජිකයා පසුගිය සිකුරාදා දිනයේ අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කෙසේවෙතත් යුධ හමුදාපතිවරයා විසින් මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කරනු ලැබීය.

ඒ අනුව ඔවුන් අදාළ සිද්ධිය සිදු වූ ස්ථානයට ගොස් විමර්ශන සිදු කළ අතර තුවාල ලැබූවන්ගේ ප්‍රකාශ මෙන්ම සිද්ධිය ඇසින් දුටුවන්ගේ ප්‍රකාශ ද සටහන් කර ගනිමින් එහි අවසන් වාර්තාව මේ වන විට සකස් කරමින් සිටින බව ආරක්ෂක අංශ සඳහන් කළේය.

මධ්‍යම පළාත් ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් මහතාගේ  සභාපතිත්වයෙන් අදාළ කමිටුව පත් කරනු ලැබීය.

gossip lanka