මහනුවර පූජාපිටිය ප්‍රදේශයේදී ඊයේ (07 වැනිදා) එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයකු මියගොස් තවත් හය දෙනකු බරපතළ තුවාල ලැබීමත් සමගම මහනුවර දිස්ත්‍රික්කයට ඊයේ (7 වැනිදා) පෙරවරුවේ සිට අද (8 දා) ප.ව. 4.00 වනතෙක් නැවත ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන ලදී.
මහනුවර, පූජාපිටිය, කටුගස්තොට, අකුරණ, අඹතැන්න ප්‍රදේශවල ඊයේ
(7 වැනිදා) ඇති වූ කලබලකාරී සිදුවීම්වලින් නිවාස විසි පහක් පමණ ගිනිගෙන විනාශ වූ අතර ආගමික ස්ථාන තුනකට ද හානි සිදුකර තිබිණි. මෙම ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් 66 දෙනකු පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී.
මහනුවර, දිගන, තෙල්දෙණිය ප්‍රදේශවල දින කිහිපයක් තිස්සේ පැවැති කලබලකාරී තත්ත්වය ඊයේ පෙරවරුව වන විට පාලනය වී තිබිණි. එහෙත් පූජාපිටිය මුල්ලේගම ප්‍රදේශයේ විහාරස්ථානයකට කිසියම් පිරිසක් ගල්මුල් ප්‍රහාර එල්ලකර විනාශ කිරීමත් සමඟම ඊයේ පෙරවරුවේ එම ප්‍රදේශයේ ජනතාව කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇත.
මෙම පිරිස් පූජාපිටිය වෙලේකඩේ මංසන්ධිය වෙත ගමන් ගනිද්දී ඔවුන් වෙත අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
එම ප්‍රහාරයෙන් පුද්ගලයකු එම ස්ථානයේදීම මියගිය අතර තවත් හය දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. එම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු අකුරණ, පූජාපිටිය, මුල්ලේගම ප්‍රදේශ නැවතත් උණුසුම් වූ අතර කලහකාරී පිරිස් මාර්ගවල ටයර් පුළුස්සමින් ප්රකෝපකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇත.
මෙම ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය නැවත ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කරන ලදී.
ප්‍රදේශයේ ඇතිවූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව, යුද හමුදා විශේෂ බළකාය කැඳවා තිබිණි.
මහනුවර ප්‍රදේශයේ ඇතිවී තිබෙන කලබලකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ප්‍රියන්ත වීරසූරිය, ආර්. එල්. රණවීර, රවී පීරිස් යන මහත්වරුන් එම ප්‍රදේශය වෙත පිටත් කර යවා ඇත.
ප්‍රදේශයේ ඇති වී තිබෙන තත්ත්වය පාලනය කිරීමට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පන්දහසක් පමණ එම ප්‍රදේශ වෙත යෑවීමට කටයුතු කර තිබිණි.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක්ද මහනුවර ප්‍රදේශය වෙත ගොස් මෙම කලබලකාරී තත්ත්වය ඇතිකිරීමට කටයුතු කරන පුද්ගලයන් සෙවීමේ විමර්ශන ආරම්භ කළහ.
පොලිසිය පවසන්නේ මහනුවර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඇතිවී තිබෙන මෙම කලබලකාරී තත්ත්වය පිට පළාත්වලින් පැමිණි පුද්ගලයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බවයි.
තෙල්දෙණිය, අම්බාලේ ප්‍රදේශයේදී ලොරි රථ රියෑදුරකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක ඇතිවූ කලබලවලින් මේ වන විට පුද්ගලයන් සිව් දෙනකු මියගොස් පනහකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.
වෙළෙඳසල්, නිවාස, ආගමික ස්ථාන ඇතුළු ගොඩනැඟිලි සියයකට වැඩි ප්‍රමාණයක් මේ වන විට විනාශයට පත්වී ඇති අතර මෙම කලබලකාරී තත්ත්වයන්ට සම්බන්ධ පුද්ගලයෝ සියයකට වැඩි පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටිති.
මහනුවර නගරයේ තත්ත්වය ඉතාම සාමකාමීව පැවතුණු අතර මෙම කලබලකාරී තත්ත්වයක් ඇතිවී තිබුණේ මහනුවරට නුදුරු ප්‍රදේශවලදීය. මහනුවර නගරයටද විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය කටයුතු කර ඇත.
ජාතිවාදය පතුරුවමින් කලබලකාරී තත්ත්වයන් ඇති කරන ඕනෑම පුද්ගලයකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන එම පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මහනුවර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝග කර තිබේ.
- දිවයින
පූජාපිටියේ බෝම්බ ප්රහාරයෙන්අයෙක් මරුට: 6 කට තුවාල
2018-03-08T08:35:00+05:30
Gossip Lanka Hot News
slide|