පොලිසියට කරන දේ අලුත් පොලිස් ඇමති කියයි..

නව නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ දිනයේ එම අමාත්‍යාංශයේදී ධූරයේ රාජකාරි ආරම්භ කළේය. රංජිත් මද්දුම බණ්ඩාර මහතා නීතිය හා සාමය අමාත්‍යාංශයට අමතරව රාජ්‍ය
පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍යවරයාද වෙයි.

ධූරයේ රාජකාරි ආරම්භ කරමින් ඔහු අවධාරණය කළේ රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සදහා අවශ්‍ය සියලු තීරණ වහා ගනු ඇති බවයි. තීරණාත්මක අවස්ථාවකදී ජනාධිපතිතුමා සහ අගමැතිවරයා විසින් තමා විශ්වාස කර මෙම වගකීම පැවැරීම අගය කරන බව ද ඔහු පැවැසීය.

මහජන නියෝජිතයෙක් වශයෙන් විශාල අත්දැකීම් රැසක් ඇති තමාට මෙම අභියෝගය ජයගැනීමේ හැකියාව ඇති බවත්, පුරවැසියන්ට නිදහසේ ජීවත්වීම සදහා සහ නීතියේ අධිපත්‍ය තහවුරු කිරීමට සහ සාමය ස්ථාපිත කිරීමට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මෙන්ම ශ්‍රී ලංකා පොලීසියට ද විශාල කැපකිරීමක් කිරීමට සිදුවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

විශාල නිලධාරීන් සංඛ්‍යාවකින් යුක්ත ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් මුහුණ දෙන ගැටළුවලට නිසි විසඳුම් ලබා දෙමින්, නීතිය හා සාමය සුරැකීමෙහිලා සමස්ත පුරවැසියන්ගේ ඇගයීමට ලක්වන විනයගරුක හා මානව හිතවාදී සේවයක් ලෙස පොලිස් සේවය ඉහළ නැංවීම කෙරෙහි අමාත්‍යාංශය සතුව ඇති වගකීම පිළිබදව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේ නව තාක්ෂණික පහසුකම් හදුන්වාදී පොලිස් සේවය නවීකරණය කිරීම තුළින් ඉදිරියේදී මෙම සේවය ප්‍රශස්ත සේවයක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු සැලසිය යුතු බවයි.

මෙම වගකීම් සහගත කාර්යයන් ඉටුකිරීම සදහා ක්ෂේත‍්‍රයේ විවිධ අත්දැකීම් ඇති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ, කාර්යමණ්ඩලයේ සහ අමත්‍යාංශයට අනුබද්ධ ආයතනවල සහයෝගය ලබාදෙන ලෙසද, එම වගකීම් නිසි පරිදි ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

– විජේ දිසානායක

gossip lanka