අප්‍රේල් අපලය ගෙවා ගනීද?

 1960 (මාර්තු) රාඡාසන කතාව පරාජය වීම නිසා ඩඩ්ලි සේනානායකට අග්‍රාමාත්‍ය ධුරය අහිමි විය. 1964දී සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩුව පුවත්පත් පනත පරාජය වීම නිසා සිරිමාවෝට ගෙදර යන්නට සිදුවිය. 2018 අප්‍රේල් 04 රනිල්ට එරෙහිව විශ්වාසභංගයක් කරළියට පැමිණ තිබේ.

2015 ජනවාරි 08 ඇත්තෙන්ම ලංකාවේ ජනතාව දේශපාලනික ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි කාලයක් විය. එවකට ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතා සමග ජනාධිපතිවරණ පොර පිටියේ ප්‍රතිමල්ලවයා වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. මෛත්‍රීගේ මැතිවරණ තේමා පාඨය වූයේ %යහපාලනය^ යන්නයි. යහපාලන තේමා පාඨයට ජනතාව ඡන්දය ලබා දුන්නේය. එදා යුද්ධය දිනා සිටි මහින්දව පරාජය කරන්නට ජනතාව මෛත්‍රීට ඡන්දය දුන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වූ බැවිණි.

එදා විපක්ෂයේ මන්ත්‍රී ආසන හතළිස් ගණනක් තිබූ රනිල්ව මෛත්‍රී අගමැති කළේය. දින 100 ආණ්ඩුව අවසන් වූ පසු මෛත්‍රී මහ මැතිවරණයක් කැඳෙව්වේය. එහිදී මෛත්‍රී මහින්ද සමග එකතු වී ඡන්දය ඉල්ලන්නට කටයුතු කළේය. මේ අලුත් මෛත්‍රී - මහින්ද ආදර ජවනිකාව ගැන යූ.එන්.පී. එක වික්ෂිප්ත විය. හැබැයි අන්තිම මොහොතේ මහින්දට අගමැතිකම දෙන්නේ නෑ කියා විශේෂ ප්‍රකාශයක් කළ මෛත්‍රී ආපහු රනිල්ව ගොඩ දැම්මේය.

රනිල් අගමැතිකම අරගත්තේය. ආර්ථිකය හසුරුවන ප්‍රධාන අමාත්‍යාංශ රනිල්ට මෛත්‍රී දුන්නේය. රනිල් මෛත්‍රී සුසංයෝගය සහජීවන ආණ්ඩුවක් ඇති කළේය. එනම් සම්මුතිවාදී ආණ්ඩුවක් ඇති කළේය. ඒ එකට පොදු ගමනක් යන්නටය. මුලදී මෙය මිනිස්සුන්ට මැජික් එකක් විය. එයට හේතුව ඉස්සර තිබුණු තට්ටු මාරු ක්‍රමය ගැන දැනගෙන හිටපු ජනතාව සම්මුතිවාදී ප්‍රධාන පක්ෂ දෙක එකතු වුණ ආණ්ඩු දැක නොතිබුණු නිසාය. මේ නිසා මේ පක්ෂ දෙකේ දීගය ඇදගෙන යන්නට හැකි විය.
තුන්වැනි ලෝකයේ රටවල් තවමත් වැඩවසම් ක්‍රමයෙන් ඔබ්බට බැහැර වී නැත. දේශපාන නායකයකුට බලය අත්‍යවශ්‍ය සාධකයක් බව අපේ රටේ නායකයන්ගෙන්ම උදාහරණ ගන්නට ඕනෑ තරම් ඇත. සම්මුතිවාදයට, සහජීවනයට බල අරගලය කියන පිළිකා සෛලය ක්‍රමිකව ස්ථාපනය විය. මේ බල අරගලය කියන පිළිකාව ටිකෙන් ටික ඔඩු දුවන්නට විය.

එදා 2015 ජනවාරි 08 ජනතාව ඉල්ලපු ඒ යහපාලනය හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මේ බල අරගලය හේතුවෙන් ජනතාවට දෙන්නට බැරිවිය. මේ පොදු ගමන යන්නට බැරි වුණේ මේ බල අරගලයේ ප්‍රතිඵල නිසාය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නිසි වාසියක් ජනතාවට ලැබුණේ නැත. නමුත් දේශපාලනික බල ව්‍යාපෘතියක ලක්ෂණ එහි ගැබ්ව තිබිණි. මෛත්‍රී - රනිල් බල අරගලය මුලින්ම මතු වුණේ එතැණිනි.

කෙටියෙන්ම කිව්වොත් මෛත්‍රී රනිල්ට උපරිම බලයක් ලබාදී තිබිණි. නායකයා නොවුණාට පාලකයා වුණු දුර්ලභ අවස්ථාව රනිල්ට මෛත්‍රී ලබාදී තිබිණි. නමුත් රනිල් වටේ හිටපු අයට මේ බලය කළමනාකරණය කිරීමට නොහැකි විය. ඔවුහු තම බල රාමුව අතික්‍රමණය කර කටයුතු කළේය. මෙහි හොඳම උදාහරණය මහ බැංකු අධිපති පත්කිරීමය. ජනාධිපතිවරයා අකමැති වෙද්දී මහා බැංකු අධිපති පත්කළේය. රාජිත වගේ ‍ෙජ්‍යෂ්ඨ ඇමතිවරු එපා කියද්දී මහ බැංකු අධිපති පත්කළේය. මේ පත්කිරීම්වලට විරුද්ධ වුණු හැම කෙනාටම, මැති ඇමතින්ටම රනිල් වටේ සිටි කේවට්ටයෝ මඩ ගහන්නට මෙන්ම පත්තරවල කැත විදිහට ප්‍රවෘත්ති පැළ (plant) කරන්නට කටයුතු කළේය. ඔවුන්ට හැමෝම අවශ්‍ය බව දැනුනේ නැත. හැබැයි ඔවුන්ට හරි වැරැද්ද වැටහෙන විට අශ්වයා ඉස්තාලෙන් පැනගොස් හමාරය. මේ ප්‍රවෘත්ති පැළ කරපු විදිය රනිල්වත් දන්නේ නැත. මොවුන් රනිල්ගේ අනුදැනුමකින් තොරව ජනාධිපතිවරයාටත් මඩ ගැහුවේය. ඔවුන්ට සිය රාජකාරිය අමතක වී තිබිණි.

රනිල්ගේ වැඩ නිසි ලෙස ප්‍රචාරණය නොකර අනුන්ට මඩ ගසමින් සිටි ඔවුන්ට එය පාරා වළල්ලක් විය. ඒ වගේම බැඳුම්කරයෙන් රනිල්ට පහර වැදිණි. මේ රනිල් වටේ සිටි අය මාධ්‍ය කැත ලෙස විචේචනය කළේය. මාධ්‍ය‍ෙව්දීන්ට මඩ ගැසීය. මෙහි ප්‍රතිඵලය වූයේ මාධ්‍ය මඟීන් බැඳුම්කර කොමිසමේ සියලු කටයුතු වාර්තා කිරීමයි. මේ නිසා රනිල්ට නරක නාමයක් පැමිණියේය. තොරතුරු නිරන්තරයෙන් ජනතාවට සම්ප්‍රේෂණය වීම හරහා ජනතාව අතර බැඳුම්කරයට විශාල විරෝධයක් මතු වී ආවේය. ඒ නිසා ජනාධිපතිවරයාටත් මෙම ක්‍රියාදාමය නතර කිරීමට නොහැකි විය. මේ සියල්ලම වූයේ රනිල්ගේ වටේ සිටි උද්දච්ච බමුණන් නිසාය.

ඕනෑම පක්ෂයක් තුළ නිසි වේලාවට පක්ෂ ප්‍රතිසංවිධාන ප්‍රතිසංස්කරණය කළ යුතුය. න්‍යායන්, පෙර සාදාගත් වට්ටෝරු වැඩක් නැත. අවශ්‍ය වන්නේ පවතින තත්ත්වයට අනුව ප්‍ර‘යෝගිකව කටයුතු කිරීමයි* කියා වමේ කියමනක් ඇත. පසුගිය කාලය පුරාම පක්ෂ ප්‍රතිසංවිධානය කරන්නන් පක්ෂයේ සුදුස්සන්ට තැන දෙන්නට කියා කොතරම් කිව්වත් කවුරුත් කනකටවත් ගත්තේ නැත. විශ්වාසභංගයට මුලින්ම ටෝච් එළිය දැල්වූයේ රංගේ බණ්ඩාරය. මීට කලින් පක්ෂ ප්‍රතිසංවිධානය නොකිරීම නිසා වගේම ළඟින් සිටින අයට ඇදීමට ගොස් ජොන්ස්ටන්, දයාසිරි වගේ දක්ෂයන් පක්ෂයට අහිමි කරගත්තේය.

අප්‍රේල් රනිල්ට ටිකක් අපල මාසයකි. එදා චන්ද්‍රිකාගේ ආණ්ඩුව 2001දී පෙරළපු රනිල් 2004දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට පැරදුණේ 2004 අප්‍රේල් දෙවෙනිදාය. ඊට හරියටම අවුරුදු 14කට පස්සේ රනිල්ට ආපහු අප්‍රේල් මාසයකදීම විශ්වාසභංගයකට මුහුණදෙන්නට සිදු වී තිබේ. මේ ආණ්ඩුව ඉදිරියට යෑමට නම් රනිල් අයින් කරලා බැරිය. මොකද එයින් වෙන්නේ පවතින ආණ්ඩුව තව තවත් අරාජික වීමය. රනිල් හොඳ ලිබරල් නායකයෙකි. පක්ෂයේ ‍ෙජ්‍යෂ්ඨයන්ට විශේෂයෙන් රවීට, මංගලට, රාජිතලා, සජිත්ලා, කරූලා වජිරලා වගේම දක්ෂ තරුණ මන්ත්‍රීවරුන්ට දැන් අවස්ථාව ලබාදීම තුළ රනිල්ට හැමදාම සුව නින්දක් ලබාගැනීමට පුළුවන. හැබැයි රනිල්ගේ අප්‍රේල් අපලය වගේම විශ්වාසභංගය ගොඩ දැමීමට හැකියාව ඇත්තේ රනිල්ට නායකයා නොවුණත් පාලකයා වෙන්න තරම් දුර්ලභ අවස්ථාවක් උදා කරපු මෛත්‍රී අතේය. දිනුම පැරදුම තියෙන්නේ දියවන්නාවේ ඔළුගෙඩි ටික එහා මෙහා වෙන ආකාරයෙනි. රනිල් දින්නත් කළ යුත්තේ වටේ ඉන්න කේවට්ටයන්ව පාලනය කර ගැනීමය. ඒ වගේම අනුන්ට අංචි අදින්නේ නැතිව රනිල්ගේ වැඩ කිඩ ජනතාවට සම්ප්‍රේෂණය කිරීමය. ඒ වගේම හැමෝම ඕනෑ කියන මතයේ ඉඳන් වැඩ කිරීමය. නැතිනම් ඉදිරි අප්‍රේල්වලත් රනිල්ට අපලවලට ඇඳුරන් සොයන්නට සිදුවනු ඇත.

නිපුන් ඒකනායක
gossip lanka