අල්ලස් සිද්ධියේ CCTV දර්ශනත් නැති වෙයි! කන්තලේ සීනි සමාගමේ ලේඛනත් අතුරුදන්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට රජය පවරාදී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර හා ගොඩනැගිලි පැවරීමට අනුමැතිය ලබාදීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලයේ හිටපු ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා රුපියල් මිලියන 20 ක අල්ලසක් ගත් අවස්ථාවේ සීසීටීවී කැමරා දර්ශන ලබාදෙන ලෙස ට‍්‍රාජ් සමුද්‍රා හෝටලයෙන් ඉල්ලීම් කළත් මේ දක්වා ලබාදී නැතැයි
අල්ලස් කොමිසම කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රංග දිසානායකට දැනුම් දී තිබෙනවා.

කන්තලේ සීනි සමාගම ට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර හා ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබාදීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් අත්තිකාරමක් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි ඒ බව අධිකරණයට දැනුම් දුන්නා.

මේ සිද්ධියට අදාළව ප‍්‍රකාශ කිහිපයක් ලබා ගැනීමට අවශ්‍ය යැයි දැනුම්දුන් අසිත ඇන්තනි දුරකථන ඇමතුම් වලට අදාළ විස්තර වලින් කොටසක් ලබාගෙන තිබෙනවා.

මේ අතරවාරයේ කන්තලේ සීනි සමාගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට පැවරීම සම්බන්ධ කැබිනට් පත‍්‍රිකා වලට අදාළ ලේඛන කිසිවක් ඉඩම් අමාත්‍යංශයේ නොමැති බව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රංග දිසානායකට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරාදී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර හා ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබාදීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලයේ හිටපු ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් ලබාගත් බව කියන සිද්ධියට අදාළව රජයේ කාර්යාල වල ඇති ලිපි ලේඛන ඉල්ලූ අවස්ථාවේදී ඉඩම් අමාත්‍යංශය මේ බව දැනුම් දුන් බව අල්ලස් කොමිසම වැඩිදුරටත් දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් සොයා බලා අදාළ ලේඛන ලබාදීමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍යංශය දැනුම් දුන් බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම්දෙනු ලැබුවා.



gossip lanka