ලංකාව තවත් ග‍්‍රීසියක් වීම ස්ථිරයි.. බැදුම්කර මගඩියේ සම්පුර්ණ වගකීම අගමැතිටයි..

යහපාලන ආණ්ඩුව යටතේ රට විශාල වශයෙන් මහා විනාශයකට ගමන් කරමින් තිබෙන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

2015 ජනවාරි අට වැනිදා මේ රටේ ජනතාව රාජපක්ෂ ආණ්ඩුව හා
රාජපක්ෂ ජනාධිපති වරයා පරාජය කොට යහපාලන ආණ්ඩුවක් හා නව ජනාධිපති වරයෙක් බලයට ගෙනාවත් අද ජනතාව කබලෙන් ලිපට වැටිලයි ඉන්නේ.

මුළු රටම ආර්ථික, සමාජ සංස්කෘතික වශයෙන් විශාල පිරිහීමකට ලක්වෙලා ඉවරයි. අපිට ඊයේ සහ පෙරේදා අහන්නට ලැබුණු ප්‍රධානම ප්‍රවෘත්ති දෙක තමයි කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම ඒ වගේම කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති මහ පාරේ මරා දැමීම අද අපිට පේන්න තියෙන විදියට මුළු රටම චිකාගෝ නගරයක් බවට පත්වෙලා. මිනිස්සු කොල්ල කනවා, මීණී මරනවා, ස්ත්‍රී දුෂණය කරනවා, දරුවෝ පැහැර ගන්නවා මොනවද මේ රටේ වෙන්නේ කියලා හිතා ගන්න බෑ.

පරිසර පද්ධතිය ඇමතිවරුන්ට අවශ්‍ය විදියට විනාශ කරනවා. විල්පත්තුව බදුර්ධීන් ඇමතිට ඕනෑ විදියට කපනවා. නකල්ස් වනාන්තර කිරිඇල්ල ඇමතිට ඕනෑ විදියට කපනවා මොනවද මේ රටට වෙන්නේ කියලා කාටවත් හිතාගන්න බැරි දේශපාලන පරිසරයක් දැන් රටේ තියෙන්නේ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු ගුණරත්න මහතා,

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අද වෙනකොට විවිධ පාර්ශව වලට චෝදනා එල්ල වෙමින් පවතිනවා. අගමැතිවරයා ගෙනාපු අගමැතිවරයාගේ ගජමිතුරෙක් වෙච්ච අර්ජුන මහේන්ද්‍රන් අද රටින් පැනලා ගිහිල්ලා. ගිහින් සිංගප්පූරුවේ හැංගිලා ඉන්න බව ආරංචියි. අගමැතිවරයා මුලින් රටට පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරලා තිබුණා අර්ජුන මහේන්ද්‍රන් මඟුල් ගෙදරක යනවා කියලා අවශ්‍ය වේලාවක ගෙන්වලා දෙනවා කියලා නමුත් දැන් අගමැතිවරයා කියනවා අර්ජුන මහේන්ද්‍රන් ඉන්න තැන. දන්නේ නෑ කියලා ගෙවල් මාරු කරනවා කියලා මේ සිදුවීමේ සම්පුර්ණ වගකීම අගමැතිවරයා බාරගන්න ඕනේ කියලා අපි පැහැදිලිව කියනවා. ඒ වගේම අද රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්  බිඳ වැටිලා ඩොලර් එක රුපියල් 160ක් අද වෙනකොට මේ විදියට දිගටම ගියොත් ලංකාව තවත් ග්‍රීසියක් බවට පත්වෙන එක නවත්තන්න බැහැ.

අද වෙනකොට රටේ ජනතාවට අධික ලෙස බදු ගහල වෛද්‍යවරු පෞද්ගලික රෝහල් වල ප්‍රතිකාර වර්ජනය කරන්න යනවා ඒ වගේම තෙල් මිල ඉහළ දැමීම නිසා සියළු සේවා ඉහළ මිලකට ජනතාවට ලබා ගන්න සිද්ධ වෙලා. එදා ජනතා විමුක්ති පෙරමුණ මේවා ගැන කතා කරා අද ජනතා විමුක්ති පෙරමුණ තිත්ත කසාය බීපු ගොළුවෝ වගේ ඉන්නවා. අද ඒ අය එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත් කරන තත්වයට පත්වෙලා. අපි බැඳුම්කර සල්ලි ගත්තද ඇහැව්වාම අපිට එන්තරවාසි එවනවා. මහේෂ් සේනානායක එක්ක තිබුණු සම්බන්ධතාවය මොකක්ද කියල අහපුවාම අපිට එන්තරවාසි එවනවා යනුවෙන්ද සඳහන් කළේය.

කීර්ති දුණුවිල
මාධ්‍ය ලේකම්
එක්සත් ජාතික නිදහස් පෙරමුණ


gossip lanka