නීතිඥයකුට බාධා කළ මීගමුවේ පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි !

මීගමුව පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වුඩ්ලර් උදයකුමාර සහ උප පොලිස් පරීක්ෂක මධුසංඛ ඩයස් යන නිළධාරීන් විසින් නීතිඥයකුගේ වෘත්තීය අයිතිවාසිකම් කඩ කලැයි දක්වමින් ඉදිරිපත් වූ මූලික
අයිතිවාසිකම් පෙත්සමකට ඊයේ (04)දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දෙන ලදී.

නීතීඥ ප්‍රියලාල් සිරිසේන මහතා විසින් ගොණු කරන ලද මෙම පෙත්සම මගින් දක්වා ඇත්තේ මීගමුව පොලිස් ස්ථානයේ පැවති විමර්ශනයක දී ස්වකීය සේවාදායිකාව වෙනුවෙන් පෙනී සිටීම මෙම පොලිස් නිළධාරීන් දෙදෙනා විසින් වලක්වන ලද බව ය.

එසේම මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා විසින් එම නීතිඥ වරයාට වාචිකව අපහාස කරන ලද බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කොට තිබේ.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා අධිකරණය වෙත පවසා සිටියේ, පොලිස්පතිවරයා විසින් නිකුත් කොට ඇති ගැසට් නිවේදනයකට අනුව සෑම නීතිඥවරයෙකුට ම පොලිස් ස්ථාන වලදී සේවාදායකයින් වෙනුවෙන් පෙනී සිටීමට අයිතියක් පවතින බවයි.

මෙම වගඋත්තරකාර පොලිස් නිළධාරීන් දෙදෙනා විසින් අවස්ථා දෙකක දී නීතිඥවරයා පොලිස් විමර්ශනයන්ට සහභාගී වීම වලක්වා ඇති බවට කරුණු ඉදිරිපත් කෙරිණි. මූලස්ථාන පොලිස් පරීක්ෂක උදයකුමාර වුඩ්ලර් විසින්, මෙම නීතිඥ වරයා සිය රාජකාරී කාමරය තුළට කැඳවා ඔහුට වාචිකව අපහාස කර ඇති බවට ද පෙත්සම් කරු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කෙරිණි.

සිය සැමියා අතින් අඛණ්ඩව හිංසාවට පත්වෙමින් සිටි මීගමුව ප්‍රදේශයේ කාන්තාවකට පෙත්සම්කාර නීතිඥ ප්‍රියලාල් සිරිසේන මහතා විසින් නීතිඥ සහාය ලබා දී ඇති අතර, එම ස්වාමි පුරුෂයා මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරික පවුලක අයෙකු යැයි කියැවේ. මෙම කාන්තාව නිවස අතහැර පළාගොස් සිටියදී එම ස්වාමි පුරුෂයා විසින් නැවතත් බලහත්කාරයෙන් නිවසට රැගෙන විත් ඇති අතර, ඉන්පසුව හිංසාවලට ලක්වීමෙන් පසු නැවත පළාගොස් සැඟවී සිට ඇත.

නීතිඥ ප්‍රියලාල් සිරිසේන විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගෘහස්ත ප්‍රචණ්ඩත්ව නඩුවක් ගොණුකිරීමෙන් පසුව, මහේස්ත්‍රාත් වරයා විසින් ස්වාමි පුරුෂයා ට එරෙහිව නියෝගයක් නිකුත් කර තිබිණි. මෙම නියෝගයෙන් දින දෙකකට පසුව පොලීසිය විසින් මෙම කාන්තාව කැඳවා එම ස්වාමි පුරුෂයා සමග ආපසු යන ලෙස බල කර තිබේ.

නීතිඥ වරයා විසින් එයට විරෝධය පළකර, අධිකරණ නියෝගය පිළිබඳව පොලීසියට දන්වා  සිටි අවස්ථාවේ ඔහුට විමර්ශන කාමරයෙන් පිටතට යන ලෙස උප පොලිස් පරීක්ෂක වරයා විසින් පවසා ඇත.
ඉන් අනතුරුව වින්දිත කාන්තාවට එම ස්වාමි පුරුෂයා සමග ආපසු යන ලෙස අඛණ්ඩව බලපැම් සිදුකර ඇති බව පෙත්සමෙහි සඳහන් කර තිබේ.

මේ අනුව, නීතිඥ වරයෙකුට පොලිස් ස්ථානයකදී සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට ඇති අයිතිය උල්ලංඝණය කර ඇති බවට අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කෙරිණි. තවද, විමර්ශනය පැවති ස්ථානයෙන් නීතිඥ වරයා ඉවත් කිරීමෙන් පසුව, මූලස්ථාන පොලිස් පරීක්ෂක වුඩ්ලර් විසින් එම වින්දිත කාන්තාවට සිය ස්වාමිපුරුෂයා වැළඳ ගන්නා ලෙස බල කර ඇති බවට ද පෙත්සමෙහි සඳහන් වේ.

අධිකරණ නියෝගය  ද නොතකා වින්දිත කාන්තාව නැවත ස්වාමි පුරුෂයා වෙත භාර දීමට පොලිස් නිළධාරින් දෙදෙනා සිදුකළ උත්සාහයට නීතිඥ වරයා විරෝධය පෑමෙන් පසුව, මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා විසින්  එම නීතිඥ වරයා සිය රාජකාරී කාමරය තුළට කැඳවා පවුල් කඩාකප්පල් කරන මෙවැනි නීතිඥයන්ට ‘දිට්ඨ දම්ම වේදනීය කර්මය’ පළ දිය යුතු යැයි බැන වැදී ඇති බව පෙත්සමෙහි දැක්වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චූදිත පොලිස් නිළධාරීන් දෙදෙනාට එරෙහිව පොලිස් කොමිසම විසින් වෙනම පරීක්ෂණයක් පවත්වයි.

පොලීසිය විසින් මෙම බලපෑම් සිදුකර ඇත්තේ මහේස්ත්‍රාත් වරයාගේ තීන්දුවට දින දෙකකට පසුව වුවත්, පොලිස් නිළධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ විමර්ශන සටහන් වල දැක්වෙන්නේ අධිකරණ නියෝගයට පෙර දිනයක පොලිස් විමර්ශනය පැවති බව යැයි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා විසින් පෙන්වා දෙන ලදී.

මෙය අධිකරණය වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමක් බව ද නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා විසින් පෙන්වා දෙන ලදී.

පෙත්සම්කරු වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වූ විනිසුරු මඩුල්ල විසින් මෙම නඩුව 2018 දෙසැම්බර් 14 දින විභාගයට ගැනීමට තීරණය කරන ලදී.

gossip lanka