'ආණ්ඩුව රට මිලිටරීකරණය කරනවා' - මහින්ද රාජපක්ෂ

රටේ නීතිය හා සාමය රැකීමට අසමත් වී තිබෙන ආණ්ඩුව රට මිලිටරීකරණය කිරීම සඳහා ක්‍රියා කරමින් සිටීම ඉතා භයානක තත්ත්වයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 'මව්බිම' පුවත්පතට ප්‍රකාශ කර ඇත.

රට මිලිටරීකරණය කිරීමට අදාළ ක්‍රියාමාර්ග සාධාරණ බව පෙන්වීමටත්
එය නීත්‍යනුකූලව සිදු කරන බව පෙන්වීමටත් ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බවද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි.

සිවිල් අපරාධ සම්බන්ධයෙන් සොයා බලා පරීක්‍ෂණ සිදුකළ යුත්තේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් බවත් අපේ රටේ වසර 150ක පමණ කාලයක් තිස්සේ පොලිසිය එම රාජකාරි සිදුකළ බවත් ප්‍රථම වරට වර්තමාන ආණ්ඩුව එම සිවිල් කටයුතු හමුදාවට භාරදීමෙන් රට මිලිටරිකරණය කිරීමේ පළමු පියවර තබා තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මත්කුඩු ඇල්ලීම, මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කිරීමට හමුදාව සම්බන්ධ වී අවසානයේදී පවුල් ආරවුල් විසඳීමේ කටයුතුද හමුදාවට පැවැරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කළහොත් එය පුදුමයට කරුණක් නොවන බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

පොලිසියේ දුර්වලකම්වලට පිළියම් යෙදීම :

තම ආණ්ඩුව පැවැති සමයේදී ලෝකයේ දියුණුම ත්‍රස්තවාදය පරාජය කිරීමේ කටයුතු හමුදාව ඇතුළු රණවිරුවන් ඉතා අභීතව සිදුකළ බවත් යළි ත්‍රස්තවාදය හිස එසවීමට ඉඩ නොදෙන ලෙස හමුදාව ශක්තිමත් කළ යුතු වුවද එසේ නොකොට වත්මන් ආණ්ඩුව පොලිසියේ රාජකාරිය හමුදාවට පැවරීම අනුමත කළ නොහැකි බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.

රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කර ගැනීමට පොලිසිය අසමත් නම් කළ යුත්තේ රටේ සිවිල් ක්‍රියාකාරකම් ගැන සොයා බැලීම හමුදාවට භාර නොකොට පොලිසියේ දුර්වලකම්වලට පිළියම් යෙදීම බවත් මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි.

ස්වාධීන පොලිස් කොමිසමේ උපදෙස් අනුව පොලිස්පතිවරයා ක්‍රියා නොකරනවා නම් එය රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.


gossip lanka