ජනාධිපතිවරණයට මෛත්‍රී - මහින්ද සන්ධානයක් !

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද එක පෙරමුණකින් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා දෙපාර්ශවය
අතර සාකච්ජා ආරම්භවී ඇතැයි ශ්‍රීලනිප 16 කණ්ඩායමේ ප්‍රබලයකු පැවසිය.

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙකට බෙදුනහොත් පොහොට්ටුවට හා ශ්‍රීලනිපයට නියත පරාජයක් අත්වන බැවින් ජයග්‍රහණය සඳහා මෛත්‍රී - මහින්ද සන්ධානයක් අනිවාර්යයෙන්ම බිහිවිය යුතු බව ප්‍රකාශ කල එම මන්ත්‍රීවරයා, ඒ සම්බන්ධයෙන් මේවනවිට දෙපාර්ශයේම බහුතරයක ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ද කියා සිටියේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් පසු ජනාධිපතිවරයාගේ බලය අවම වී අගමැතිවරයාට වැඩි බලයක් හිමිවීම මෙවැනි එකඟතාවයක් ඇතිකර ගැනීමට බෙහෙවින් ඉවහල්වී ඇතැයි පැවසු එම මන්ත්‍රීවරයා, කෙසේවුවද දැනට පැවති සාකච්ජා වල එකඟත්වය අනුව මේ වසර අවසන්වීමට පෙර ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කල යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා තුන්වන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවන බව එම මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

16 කණ්ඩායම මහින්ද සමග සාකච්ජාවක

ආණ්ඩු විරෝධී පුළුල් පෙරමුණක් ගොඩනැගීම සම්බන්ධයෙන් මේවනවිට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානින් හා 16 කණ්ඩායම අතර රහසිගත සාකච්ජා ආරම්භවී ඇති මොහොතක විපක්‍ෂයේ අසුන්ගත් ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතර පෙරේදා (12දා) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.

තංගල්ල කාල්ටන් නිවෙසේදී පැවැති මෙම හමුව පැය 5කට ආසන්න කාලයක් පැවැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා පැවැසීය.

විපක්‍ෂයේ අසුන්ගත් පසු ශ්‍රී ලනිප මන්ත්‍රි පිරිස මහින්ද රාජපක්‍ෂ සමඟ මෙපමණ වේලාවක් සාකච්ඡා කළ පළමු අස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධ බලවේගයක් දැන් සිටම ගොඩනැඟීමට අවශ්‍ය කටයුතු මෙහිදී මන්ත්‍රි පිරිස දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව තිලංග සුමතිපාල මන්ත්‍රිවරයා කීවේය.

අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බී. දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, අනුරාධ ජයරත්න, තාරානාත් බස්නායක, ටී.බී. ඒකනායක සහ සුසන්ත පුංචිනිලමේ යන මන්ත්‍රිවරුන් වෙනත් කටයුතු යොදාගෙන තිබූ නිසා මෙම හමුවට නොපැමිණෙන බව දන්වා තිබේ.

ඔවුන් හැරුණුකොට ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, සුමේධා ජයසේන සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මන්ත්‍රිවරුන් මේ සඳහා සහභාගි වී ඇත.

 එජාපයෙන් මෛත්‍රීට ඉඩක් නැහැ !

 මේ අතර රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන ඇමැති සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ,

කවුරුන් මොනවා කීවත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් එක්සත් ජාතික පාක්ෂිකයාට අවශ්‍ය හෙයින් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුත්තේ එජාප අපේක්ෂකයකු බවයි.

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාව එජාපයට ඇති බවත් එජාප පාක්ෂිකයන්ට යමක් කරදීමට තනි ආණ්ඩුවක ඇති අවශ්‍යතාව ඉස්මතු වී ඇති බවත් ඔහු කීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික් එජාප පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන්ගේ හමුවකට පසුගියදා (12දා) එක්වෙමිනි.

යහපාලන ආණ්ඩුවට ලැබුණු ඡන්දවලින් 80%ක්ම එජාප ඡන්ද බවත් පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණය ගැන පොහොට්ටුවේ ඇතැමුන් උදම් ඇනුවද එම ප්‍රතිඵල අනුව පොහොට්ටුවට 56%ක්ම විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බවත් සිහියේ තබාගත යුතු යැයිද ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

 පළාත් සභාවලට කලින් ජනාධිපතිවරණයක් !

 පළාත් සභා මැතිවරණයට කලින් ජනාධිපතිවරණයකට යෑමට ඉඩකඩ ඇතැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී කියා සිටියේය.

එළැඹෙන ජනවාරි මාසයෙන් පසුව ජනාධිපතිවරණයකට යෑමට ජනාධිපතිවරයාට හැකිවන නිසා මෙසේ පළාත් සභා මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් ඒමේ හැකියාවක් පවතින බව ඔහු පැවැසුවේය.

gossip lanka