මේ වන විට පුරප්පාඩුව පවතින ලංඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර සඳහා දැනට දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය හොබවන මනීෂා ගුණසේකර මහත්මිය පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව වෘර්තිමය රාජතාන්ත්‍රික නිලධාරියෙකු ලංඩනයට පත්කළ යුතු යැයි දැඩි ස්ථාවරයක සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් 2008 වසරින් පසුව ප්‍රථම වතාවට නැවතත් මෙවැනි පත් කිරීමකට විදේශ කටයුතු අමාත්‍යංශය යොමු වූ බව වාර්තා වේ. මහා බ්‍රිතාන්‍යය රාජතාන්ත්‍රික කටයුතු වලදී යුරෝපයේ ප්‍රධානම වැදගත්
කේන්ද්‍රස්ථානයක් වන අතරම දෙරට අතර රාජතාන්ත්‍රික කටයුතු නැවතත් වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් මෙම පත්වීම සිදුකළ බවද දැන ගැනීමට තිබේ.
අවසන් වරට වෘර්තිමය රාජතාන්ත්‍රික නිලධාරියෙකු මහ කොමසාරිස්වරයෙකු ලෙස ලංඩනයේ කටයුතු කළේ 2008 වසරේයි. ඒ හිටපු විදේශ ලේකම් හා වර්තමානයේ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිධුරය හොබවන ක්ෂේණුකා සෙනෙවිරත්න මහත්මියයි. 2008 සැප්තැම්බර් සිට එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ සමීප මිතුරෙකු වන විශ්‍රාමික විනිසුරුවරයෙකු වන නිහාල් ජයසිංහ මහතා මෙම තනතුරට පත් කළේය. ඉන් පසුව ව්‍යාපාරිකයෙකු වූ වෛද්‍ය ක්‍රිස් නෝනිස් මෙම තනතුරේ කටයුතු කළේය. ඔහුද රාජපක්ෂ ජනාධිපතිතුමාට දේශපාලන කටයුතු වෙනුවෙන් මුදල් ආධාර ලබා දුන් අයෙකි.
මෙම කාළ වකවානුවේදී ශ්‍රී ලංකාවත් මහා බ්‍රිතාන්‍යයත් අතර තිබු රාජතාන්ත්‍රික, සංස්කෘතික, වෙළඳ ඇතුළු සියලු අංශයන්ගේ දරුණු කඩා වැටීමක් සිදු වුණි. එහෙත් එම වකවාණුවේදී අතරමැද නියෝජ්‍ය මහ කොමසාරිස් තනතුරේ හිඳිමින් වැඩබලන මහ කොමසාරිස් තනතුරු හෙබවූ වෘර්තිමය රාජතාන්ත්‍රික නිලධාරීන් වන පී.එම්.හම්සා, ආචාර්ය චානක තල්පහේවා මෙන්ම වර්තමානයේ වැඩ බලන මහ කොමසාරිස් තනතුරේ කටයුතු කරන සුගීශ්වර ගුණරත්න යන නිලධාරීන් බිඳ වැටී තිබෙන සුහදතාවය යළි ගොඩ නැගීමට සුවිශාල සේවාවක් සිදුකළ බව කිව යුතුමය. එහෙත් ඔවුන් මාස ගණනාවක් එම තාවකාලික තනතුර හෙබවුවද කිසිම රජයක් රටේ අවශ්‍යතාවය තේරුම් ගෙන ඔවුන්ව මහ කොමසාරිස් තනතුරට උසස් කිරීමට කටයුතු නොකළේය.
ශ්‍රී ලංකා විදේශ සේවයත්, විදේශීය රාජතාන්ත්‍රික සේවයත් පිරිහී ඇති බවත් එයට මූලික හේතුව රාජ්‍ය නායකයා නුසුදුසු පුද්ගලියින්, ඔහුගේ නෑදෑ හිතමිතුරන් මෙන්ම දේශපාලඥයින්ගේ හිතවතුන් පත් කිරීම බව පවසමින් එය කිසි සේත්ම නැවතත් සිදු නොකරන බවට පොරොන්දු දී බලයට පැමිණි එ.ජා.පය ප්‍රමුඛ වර්තමාන රජයත් එම දූෂිත ප්‍රතිපත්තියම අනුගමනය කරමින් ලංඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් තනතුරට තෝරා පත් කලේ විදේශීය රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳව මෙලෝ හසරක් නොදන්නා කාන්තාවකි. ඇය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීප ඥාති සොහොයුරියකි. කෙසේ වෙතත් අවසානයේ ඇයටත් කලින්ම ගෙදර යන්නට සිදු වීම හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ අග සිට නැවතත් මෙම තනතුර පුරප්පාඩුව පැවතුණි.
නැවතත් අග්‍රාමාත්‍යවරයා විසින් වෘර්තිමය නිලධාරියෙකුට පිටින් ඔහුගේ හිතවතුන් දෙදෙනෙකුගේ නම් යෝජනා කර තුබුණද ජනාධිපතිවරයා එම යෝජනා දෙකම ප්‍රතික්ෂේප කරමින් ලංඩනය ඇතුළු දේශපාලනික, උපාය මාර්ගික වශයෙන් වැදගත් විදේශීය තානාපති කාර්යාල වල මුල් පුටු වලට වෘර්තිමය රාජතාන්ත්‍රික නිලධාරින්ම පත්කළ යුතු යැයි දැඩි ස්ථාවරයක සිටි බවටත් තොරතුරු දැන ගන්නට ලැබුණි. එයට ප්‍රධානම හේතුවක් වුයේ ජනාධිපතිතුමා එංගලන්තයේ සංචාරය කල පසුගිය දෙවතාවේදීම ලංඩනයේ දේශප්‍රේමී කණ්ඩායම් එතුමා හමු වූ සැම අවස්ථාවකම මෙරට දේශපාලනික හා රාජතාන්ත්‍රික වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ පා සිටින හා පවතින ගැටළු සහ ඒවාට විසදුම මෙම කරුණු පිළබඳව මනා අවබෝධයක් ඇති දක්ෂ වෘර්තිමය රාජතාන්ත්‍රික නිලධාරියෙකුගේ අවශ්‍යතාවය බව පෙන්වා දෙමින් එතුමාව නිරතුරුවම දැනුවත් කිරීමයි.
ඒ අනුව ජනාධිපතිතුමාගේ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් තනතුරු පිලිබඳ කමිටුව විසින් අනුමැතිය ලබා දෙමින් වර්තමානයේ දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිධුරය හොබවන මනීෂා ගුණසේකර මහත්මිය ලංඩනයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස තෝරා පත් කර තිබේ. ඇය කොළඹ විශ්ව විද්‍යාලයේත්, ඕලන්දයේ රොටර්ඩම් හි එරස්මස් විශ්ව විද්‍යාලයෙන්, ඉන්දියාවේ නව දිල්ලි විශ්ව විද්‍යාලය යන දේශීය හා විදේශීය අධ්‍යාපන ආයතන වල උසස් හා වැඩිදුර අධ්‍යාපන කටයුතු වල නිරත වූ නිලධාරිනියකි. ඇය මීට ප්‍රථම ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත තනතුරෙත් කටයුතු කල ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේත් විවිධ තනතුරු හෙබවූ පළපුරුදු දක්ෂ රාජ්‍ය නිලධාරිනියකි.
මනීෂා ගුණසේකර බි්‍රතාන්‍යයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස පත්වේ !
2018-08-25T11:29:00+05:30
Gossip Lanka Hot News
slide|