24 දා පාර්ලිමේන්තුවේ තීරණාත්මක ඡන්දයක්

යෝජිත පළාත් සභා මැතිවරණය ගැන තීරණාත්මක ඡන්ද විමසීමකට යාමට රජය තීන්දුකර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව දැනට ප්‍රධාන දේශපාලන පක්ෂ අතර කිසිදු එකඟතාවක් නැති නව මැතිවරණ ක්‍රමයට අදාළ සීමානිර්ණය කමිටු වාර්තාව ලබන 24දා
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය සැලසුම්කර ඇති බවයි පැවසෙන්නේ.

පවත්නා නීතිමය ප්‍රතිපාදන අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් ඊට පෙර සීමානිර්ණය වාර්තාව තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය යුතුයි.

එහෙත් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ පැරණි මනාප ඡන්ද ක්‍රමයටද නැතහොත් නව මැතිවරණ ක්‍රමයටද යන්න ගැන ප්‍රධාන පක්ෂ අතර කිසිදු එකඟතාවක් නැහැ.

රජයේ හවුල්කාර පක්ෂ ගණනාවක නායකයන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදුයුදීන්, මනෝ ගනේෂන් ආදීන් සහ එජාපයද පැරණි මැතිවරණ ක්‍රමයට කැමැත්ත පළකර තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානය තවමත් මේ ගැන වැටඋඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර ඒකාබද්ධ විපක්ෂය ද වාර ගණනාවක් කියා ඇත්තේ පැරණි මනාප ක්‍රමයට තමන් කැමැති බවයි.

එහෙත් ඔවුන් මේ ගැන අවසන් තීන්දුවක් ගෙන නැහැ.

එසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ආණ්ඩුවේම හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරැමය අලුත් ඡන්ද ක්‍රමය අනුව පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව තරයේ ප්‍රකාශ කර සිටිනවා.

මෙම මතගැටුම පළාත් සභා සීමා නිර්ණය වාර්තාවට අදාළ ඡන්දයේදීත් ප්‍රකාශ කෙරෙනු ඇතැයි දේශපාලන පක්ෂ නායකයන් ගණනාවක්ම පැවසූ බව ජාතික පුවත්පතක් සඳහන් කරනවා.

පොදු එකඟතාවකින් තොර මැතිවරණ ක්‍රමයට අදාළ සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී පරාජය වුවහොත් පළාත් සභා මැතිවරණය ගැන ව්‍යාකූල දේශපාලන අර්බුදයක් නිර්මාණය විය හැකි බව ද සඳහන්.

එවන් තත්ත්වයක් තුළ නැවතත් පළාත් සභා ඡන්ද කොට්ඨාස සීමා නිර්ණය කොට මැතිවරණ ක්‍රමය ගැනද එකඟතාවක් ඇතිකර ගන්නා තුරු ඡන්දය පැවැත්වීම අත්හිටුවීමට සිදුවනවා.



gossip lanka