පොල්ගහවෙල දී සිදුවු දුම්රිය අනතුර ගැන හොයන්න විශේෂ කමිටුවක්

පොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබේ.

අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේ අදාළ අනතුරට හේතුව පිළිබඳව මූලික විමර්ශනයක් සිදුකිරිම සඳහා මෙම
කමිටුව පත් කර ඇති බවයි.

පොල්ගහවෙල, පනලිය ප්‍රදේශයේ දී ඊයේ (06) පස්වරුවේ කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබු දුම්රියට පිටුපසින් පැමිණි කොළඹ සිට රඹුක්කන බලා ධාවනය වු දුම්රිය ගැටී අනතුරක් සිදුවිය.

එම අනතුරෙන් මගීන් 32 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර බොහෝ පිරිසක් ප්‍රතිකාර ගෙන රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

අනතුර හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වූ අතර ඊයේ රාත්‍රියේ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය අවලංගු කිරීමට ද පියවර ගනු ලැබීය.

කෙසේවෙතත් මේ වන විට උඩරට දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක දුම්රිය ධාවන කටයුතු සිදුකළ හැකි බව විජය සමරසිංහ මහතා සඳහන් කළේය.


gossip lanka