දුම්රිය වර්ජනයෙන් කොළඹම හිරවෙයි කුපිත වූ මගීහු මහා මාර්ගයත් අවහිර කරති

දුම්රිය රියෑදුරු, නියාමක, ස්‌ථානාධිපති, පාලක යන ශේ්‍රණීන්ට අයත් දුම්රිය සේවකයන් ඊයේ (08 දා) සවස හදිසියේම ආරම්භ කළ වැඩ වර්ජනය නිසා කුපිත වූ මගී ජනතාව කොටුව දුම්රිය ස්‌ථානය හා ඒ ඉදිරිපිට මාර්ග අවහිර කර කෑ කෝ ගසමින් දුම්රිය වෘත්තීය සමිතිවලට,
ආණ්‌ඩුවට එරෙහිව දැඩි විරෝධයක්‌ පළ කළහ.

එලෙස මගීන් කලහකාරීව හැසිරීම නිසා පොලිසියට දැඩි ආරක්‍ෂාවක්‌ සැලසීමට සිදු වූ අතර කොටුව සහ ඒ අවට ප්‍රදේශය තුළ දැඩි මාර්ග තදබදයක්‌ ද ඇතිවිණි.

කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිට මාර්ගවලට මගීන් පැමිණ එම මාර්ග අවහිර කිරීම නිසා එහි ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩපණ වූහ.

මගීහු විශාල ප්‍රමාණයක්‌ කොටුව දුම්රිය ස්‌ථානය ඇතුළත ඇති දුම්රිය ස්‌ථානාධිපති මෙහෙයුම් කාර්යාලයට පැමිණ කෙලෙස හෝ දුම්රිය ධාවනය කරන්නැයි කෑ කෝ ගැසූහ.

ඔවුහු කිහිප වරක්‌ම කොටුව දුම්රිය ස්‌ථානාධිපතිවරයාගේ කාර්යාලයට කඩා වැදීමට උත්සාහ කළ ද පොලිසිය එය වැළැක්‌වීමට ක්‍රියා කළේය. කොටුව දුම්රිය ස්‌ථානය තුළ දුම්රිය කිහිපයක්‌ නවතා තිබූ අතර ඒවා කොයි මොහොතක හෝ ධාවනය කරතියි යන බලාපොරොත්තුවෙන් මගීහු ඒවාට නැග අසුන්ගෙන සිටිනු දක්‌නට ලැබිණි.

දුම්රිය ධාවනය නොවන නිසා කොටුව දුම්රිය ස්‌ථානයේ සිටි මගීහු බැස්‌ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්‌නැවතුම්පළ සහ ඊට ඉදිරියෙන් ඇති ලංගම බස්‌නැවතුම්පළ වෙත පයින්ම ගමන් කළහ.

එහෙත් ප්‍රමාණවත් තරමේ බස්‌ රථ ඒවායෙහි නොවූ බැවින් මගීහු ඒ මේ අත යමින් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටි අතර ඊයේ සවස කොටුවෙන් ගමන් කළ සියලුම ලංගම හා පෞද්ගලික බස්‌ රථ අතුරු සිදුරු නැතිව පිරී ගොස්‌ තිබෙන අයුරු ද දක්‌නට ලැබිණි.

හදිසි දුම්රිය වර්ජනය නිසා කාර්යාල සේවකයන් ඇතුළු දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ එලෙස අසරණ වෙද්දී ගැබිනි මව්වරුන්, විදේශිකයන්, කුඩා දරුවන් අතින් ගත් දෙමවුපියෝ අන්ත අසරණ වී සිටියහ.

කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිට රැස්‌ව සිටි දුම්රිය මගීහු ඊයේ රාත්‍රි අට පසුවන තුරුත් දුම්රිය වෘත්තීය සමිතිවලට, ආණ්‌ඩුවට, ප්‍රවාහන ඇමැතිවරයාට දැඩි ලෙස දොස්‌ කියමින් රැඳී සිටියහ.

මාසික වාර ප්‍රවේශපත් ලබාගෙන ඇති නිසා බස්‌වල නැගීමත්, නිවෙස්‌වලට යැමට තමන්ට මුදල් නැතැයි ද ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් වැඩි වැටුප් ලබා සුව පහසු ලෙස ජීවිත ගත කළත් තමන් දැඩි ලෙස අසීරුතාවට පත්ව ඇතැයි ඇතුළු විවිධ සටන් පාඨ කියමින් කෑ කෝ ගසමින් සිටියහ.

කෙසේ වෙතත් මෙම කෝප වූ මගීන්ට යම් පිළිතුරක්‌ ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියකු එම ස්‌ථානයට නොපැමිණි අතර පොලිස්‌ නිලධාරීන්ට දුම්රිය මගීන්ගේ දුක්‌ අෙ¹aනා විවේචන අසන්නට සිදුවිය.

අකිත පෙරේරා, ඡායාරූපය- කමල් බෝගොඩ

gossip lanka