ඥාණසාර හිමි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින දේ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට මේ වන විට සිර දඬුවම් නියම වී ඇති ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම අභියාචන පෙත්සම විමසා අවසන් තීන්දුවක් දෙන තෙක් තමා ඇප
මත මුදාහරින ලෙසට ඥාණසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

තවද පසුගිය අගොස්තු මස 08 වැනි දා ඥාණසාර හිමියන් වරදකරු කිරීමට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව ඉවත දමන ලෙසට මෙම අභියාචන පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් 2016 වසරේ ජනවාරි මස 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන්  ඥාණසාර හිමියන්ට වසර හයක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට අභියාචනාධිකරණය අගොස්තු 08 වැනිදා නියෝග කළා.

චෝදනා හතරකට වරදකරු වූ ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් වසර හයකදී එකවර ගෙවෙන පරිදි බරපතළ වැඩසහිත සිර දඩුවම් නියම කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.

විත්තිකරු අධිකරණයේ අවසරයකින් තොරව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු සිදු වෙමින් පවතින මොහොතක අනපේක්ෂිත ලෙසට අධිකරණය ඇමතීමෙන් අධිකරණයේ බලය අභියෝගයට ලක්වන ආකාරයට කටයුතු කර ඇති බවට සාක්ෂිවලින් ඔප්පු වන බව අභියාචනාධිකරණය තීන්දු කර තිබුණා.

මෙම හැසිරීම මගින් මහේස්ත්‍රාත්වරයාගේ බලයට අභියෝග කර ඇති බවත් තවද රජයේ නීතිඥවරයාට බලපෑම් සිදු කර ඇති බවත් අභියාචනාධිකරණය තීන්දු කර තිබුණා.


gossip lanka